Anonymous Reporter

ගෝඨාභයගේ ලංකා හොස්පිටල් එක රනිල් විකුණනව ලු.. බොරුව සමාජගත කිරීමේ පාපය ගෙවන අපේ ඇත්තෝ..

ලංකා හොස්පිට්ල් ආදී ආයතන ගණනාවක් එක පොකුරට පුද්ගලික අංශයේ පාලනයට නතු කිරීමට රනිල් – රවී වැය-අය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙනවා.අනෙක් ආයතන කෙසේ වෙතත්, ලංකා හොස්පිට්ල් පිළිබඳව මම පෙර ඇසූ කතාවක් සමඟ කරුණක් පැහැදිලි කර ගැනීමට මේ සටහන තබන්නට සිතුවෙමි.2014 වසරේ ජූලි එක් දිනක් මම නාරාහේන්පිට පොල්හේන්ගොඩ සිටින මාගේ මිතුරෙකු හමුවීමට ගියෙමි. මේ මිතුරා නමින් සුමනදාස අබේසිංහ ය. අදටත් ඔහු නාරාහේන්පිට පොල්හේන්ගොඩ හන්දිය පෙනෙන දුරින් කුඩා ව්‍යාපාරයක් කරගෙන කුලී නිවසක වෙසෙයි. මොහු මගේ දිවියේ ඉතා සමීප මිතුරෙකි.

මම ජවිපෙ දේශපාලනයේ පූර්ණකාලීනව නිරතව සිටි සමයේ මාතර පිහිටි ඔහුගේ නිවසින් ඉඳහිට ආහාර ගැනීමට පුරුදුව සිටියේ ය. මාගේ මවගේ පවුලට සමීප නෑ හිතවත්කම් තිබූ ඔහු මට මෙන්ම මාගේ ඇසුරෙන් දැන හඳුනාගෙන සිටි අපේ පක්ෂයේ සහෝදරවරු රැසකට ද ආහාරපාන ආදියෙන් පමණක් නොව ඉඳුම් හිටුම් පවා දීමට ඉදිරිපත් වූ කාලයක් වීය.
පසුව 1989 මැයි මස වන විට පක්ෂයේ නියමය පරිදි මම ගාල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතුවලට අනුයුක්තව ගිය අතර, එක්සත් ජාතික පක්ෂ රජයේ ප්‍රේමදාස – රංජන් විජේරත්න භීෂණ සමයේ උච්ච අවස්ථාව එළැඹ තිබුණි. අද මෙන් සන්නිවේදන පහසුකම් නොතිබුණු අපට සත්‍ය තොරතුරක් දැනගැනීමට සිදුවන්නේ අදාළ ප්‍ර දේශයෙන්ම පැමිණි කෙනෙකුගෙන් හෝ අප එම ප්‍ර දේශයට ගිය විටකම පමණි. ඇතැම්විට එලෙස යාමට සිදුවන්නේ ද ඉතා රහසිගතව ය.

දිනක් යළි මම සුමනෙ අයියාගේ නිවසට යන්නට යනවිට මට දැන ගන්නට ලැබුණේ මා පිළිබඳව තොරතුරු සොයා පැමිණි හමුදා කණ්ඩායමක් ඔහු කුදලාගෙන ගොස් ඇති බවකි. ඒ වන විට ඔහු මාතර එළියකන්ද වධ කඳවුරේ රඳවා සිටින බවත්, ඔවුන්ගේ නිවැසියන් හා ඥාතීන් මා කෙරෙහි ද වෛරයෙන් පසුවන බවත් අසල්වැසියෙක් මා හට පැවැසූවේ ය. කෙසේ වෙතත් ඔහුගේ බිරිඳ හා දරුවන් මාහට කුමක් පැවැසුවත් මා එම නිවසට ගොඩවිය යුතුය යන සිතිවිල්ල මා තුළ විය. ඒ නිසාම මම රාත්‍රී අඳුරේම ඔහුගේ අක්කාගේ නිවසේ වැටට මා පැමිණි පාපැදිය හේත්තු කොට ගොඩපාරෙන්ම ඔහුගේ නිවසට ළං වුණෙමි. ඒ වනවිට එහි කිසිවෙක් නොවූයෙන් මම යළි ආවෙමි.

මම එනවිට කිසිවෙකු විසින් මාගේ පා පැදිය පාරෙන් එහා පැත්තේ සොහොන්පිටියට ඇද දමා තිබුණි. අසල්වැසි හිතවතුන්ගෙන් සමුගෙන ඉන් සැතපුම් කිහිපයක් නුදුරෙහි රැය පහන් කළ මම යළි ගාලුපාර දිගේ පක්ෂයේ කාර්යයන් සඳහා ගියෙමි. මාගේ පා පැදිය සොහොන් පිටියේ වනලැහැබට දමා ඇත්තේ සුමනෙ අයියාගේ වැඩිමහල් අක්කා බවත් ඇය මට සාප කරමින් ඒ දේ කළ බවත් අසල්වැසි මාගේ හිතවතෙක් පසුව පැවැසීය. ඒ යසවතී අක්කා මෑත දිනයක මිය ගිය අතර මම ඇයගේ මළගමට ද සහභාගීවීමි. මේවනවිට ආරක්ෂක සේවයේ නියුතු ඇයගේ පුත්‍රයා අදත් මගේ මිත්‍ර යෙකි.

මේ සුමනෙ අයියාට එළියකන්ද වධ කඳවරේ දී විඳින්නට වූ ගැහැට ඔහු විසින් මට පවසන්නේ ඉන් වසර දෙකකට පසුව මා සිටි කඳවුරට මා බලන්නට පැමිණි දිනයක දී ය. ඒ වනවිට ඔහු අහුඹු ලෙස දිවිය ආරක්ෂාකරගෙන තිබුණි. එහෙත් මම ඇතුළේ ය. සිය ගණනක් වූ මාගේ මිතුරන් හා නෑදෑයින් අතරින් මා බලන්නට කඳවුරට පැමිණෙන්නේ දෙදෙනෙකු පමණි. ඒ දෙදෙනාගෙන් එක් අයෙකි මේ සුමනෙ අයියා. (මම රැඳවුම් භාරයට පත්කරන්නේ 1992 මැයි මස 22 වන දිනය. ඒ දක්වා සිදුවූ සියල්ල මෙහි සටහන් නොකිරීමට සදාචාරාත්මක අයිතියක් අප සතුව ඇත.)

වාමාංශික දේශපාලනය පිළිබඳ උනන්දුවකින් හා දැනුමෙන් හෙබි සුමනේ අයියා මාතර සිට පැමිණ නාරාහේන්පිට තෝරා ගන්නේ ඊට පෙර ඔහු රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ සේවය කළ නිසාය. දැනටත් මම කොළඹ පැමිණි විට ආහාර ගන්නට යන්නේ ඔහුගේ සුළු ව්‍යාපාරය වෙත ය. එදා මට කන්නට දී එළියකන්දේ යන්නට වූ සුමනෙ අයියාට ඒවගක් මතකයේ ඇතිවගක් – බියක් – දුකක් ඇති වගක් නැත.

මේ සුමනෙ අයියා නිරතුරු දේශපාලනයත් සමඟ ගැට ගැසී සිටියත්, යමෙක් හෝ කණ්ඩායමක් විසින් වපුරන අසත්‍යය හමුවේ දැනුම භාවිතයට නොගන්නා තැනකට පත් කරන්නේ යැයි මම අවබෝධකර ගතිමි.

2014 වසරේ පෙර කී දිනක ඔහු මට පවසන්නේ….

“…මල්ලී දන්නව ද …. ගෝඨාභය මේ එහා පැත්තෙ තියෙන ලංකා හෙස්පිටල් එකත් අරගෙන. දැන් ඔක්කොම රාජපක්ෂලා සල්ලිවලටම ගන්නව නේද ?“

ඔහු එය මට කීවේ ගෝඨාභය නමට ඔප්පු හිමිකම් ලියනවා ඔහු ඇසින් දුටු ආකාරයට ය. මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණට හිතවාදී බවක් දනවන ඔහුගේ එක් පුත්‍ර රත්නයක් ද එය සනාත කරමින් තාත්තාගේ කතාවට පොහොර දාන්නට ද වීය. කිසිවක් නොදන්නා මම ඔවුන්ගේ කතාව අසා සිටියා පමණි. මට කියන්නට දෙයක් ඉතිරිව තිබුණේ නැත. ඔවුන්ට මා දන්නා දේ පහදා ද ඵලක් නැත. ඒ තරමට රාජපක්ෂලා සන්තක දේපළ පිළිබඳව රට තුළ මතයක් මුල් අද්දවා තිබුණි.

සැබැවින්ම මම එම කතාව අනුමත නොකළද ඒවනවිට මා දැරූ දේශපාලන ස්ථාවරය අනුව රාජපක්ෂලා සුද්ද කරන්නට ද නොගියෙමි. එක්සත් ජාතික පක්ෂය හා සිවිල් සංවිධාන ජාලය විසින් වපුරන ලද ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍ය්‍ය ආදී කරුණු සමඟ මගේ මනසේ සමපාත බවක් වීය. එය කුමන්ත්‍රණකාරීව හා අධිරාජ්‍ය ගැතිව බලය ඩැහැගන්නා තත්ත්වයක් බව තේරුම්ගත්වනම මම ඉන් මිදුණෙමි.

ඇමෙරිකාව සහ ඉන්දියාව විසින් වෛරී දේශපාලනික හැඟීමෙන් මුසපත්ව සිටින චන්ද්‍රිකා – මංගල වැනි පිරිස් සමඟ රට උගුලක හෙළන බව දැතගත් වහාම මම ඉන් ඉවත් වීමි. ඒ පිළිබඳ ප්‍රා යෝගික සාක්ෂි මා සතුව ඇත.

කෙසේ වතත්, අද වනවිට ලංකා හොස්පිට්ල් සම්බන්ධව වගකිවයුතු අංශ පවසන්නේ කුමක් දැයි යහ පාලනයට රැවැටුණු ජනයා වටහා ගත යුතු ය.
ගෝඨාභය රාජපක්ෂ හෝ රාජපක්ෂ පවුලේ කිසිවෙකුත් හෝ තම භුක්තියට ගත් බවට විශ්වාස කළ ජනයා දැන් කුමක් කියන්නේ ද ?
ගෝඨාභය නමට ඇති කිසිවක් රනිල්ට විකිණිය හැකි ද?

2015 ජනවාරි 08 වන දින සිදු වූයේ රට පාවා දීමේ කුමන්ත්‍රණයක් ජය ගැනීමකි. ඒ වෙනුවෙන් අහස පෙළොව නුහූලන බොරු බේගල් කන්දරාවක් ඇද බෑවේ ය. සත්‍යය එය නම් ඒ සත්‍යය සමාජගත කරවන්නට පමා ඇයි..? එය විමල් – දිනේෂ් – ගම්මන්පිල පමණක් සතු වගකීමක් ද ?

මෙහි මා සඳහන් කළ එළියකන්දේ පවා වධ වින්දා වූ මගේ මිතුරු සුමනෙ අයියාත් රැවැටුණා නම් රටේ අනෙක් සුමනෙලා ගැන කවර කතා ද ?
අවසාන වශයෙන් යහ පාලනයට රැවැටුණු ජනයාගෙන් අසන්නට ඇත්තේ…..

“ඔබගේ පුද්ගලික දේපළ රනිල් විකුණන්නට සූදානම් ය. ඒ වෙනුවෙන් ඔබ කරන්නේ කුමක් ද ?“
-ජනිත් විපුලගුණ-
2015 නොවැම්බර් 30
මාතර දී ය.

Copyright © 2017 LNW TODAYThemetf

To Top