ලෝකයා

නාඳුනන බල්ලන් බිරුවත් අඳුනන බල්ලන් බිරුවත් ඉදිරියටම යමු

අකල යනු නොකාලයයි. අබුද්දස්ස කාලයට ලබුත් තිත්ත වන්නේය. හැබැයි ලබු තිත්ත වනවා පමණක් නොව   ලබු කබල් වලට  ඉහල  වටිනාකමක් ද ලැබේ. අබුද්දස්ස කාලයේදී  සිදුවන දේවල් ගැන කොසොල් රජ්ජුරුවෝ ද සිහිනෙන් දුටහ. එක් සිහිනයකට අනුව අබුද්දස්ස කාලයේ දී  ස්වර්ණ හංසයෝ ද කව්ඩෙකු තම නායකයා ලෙස තෝරාගෙන උන් පිරිවරා පියාසලති. කොසොල් රජතුමා අද ජීවතුන් අතර සිටියානම්  හස්තිරාජයන් සිවලෙකු තම නායකයා ලෙස තෝරාගෙන උන් පෙරටුකොට  සැරිසරන බව සිහිනෙන් නොව හැබැහින්ම දකිනු නියතය.

ගෙඩි හැදෙන්නේ ගස් හෝ වැල්වලය. ශරිරයේ හැදුනොත් නම් එය වහාම සුදුසුකම් ලත්, පලපුරුදු බටහිර හෝ දේශීය වෛද්‍යවරයකුට පෙන්වා බෙහෙත් ගත යුතුය. සමහරවිට අකලට ද ගස්වැල්වල ගෙඩි හැදෙයි. බැලූ බැල්මට ඒවා සාමාන්‍ය ගෙඩිවලට ද වඩා විශාලය. බොහෝ විට විකෘති හැඩයක් ද ගනී. නමුත්  ඒවාට ඇත්තේ අල්පායුෂකි.

අකලට හටගත් ගෙඩි වලට අස්වාභාවිකත්වය ප්‍රිය කරන්නෝ රුචිවෙති. එය අස්වාභාවිකත්වය ප්‍රියකරන්නන්ගේ  ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි. ඔවුහු  අකලට හටගත් විවිධ හැඩැති ගෙඩි බැලිමට යති. ඒ නිසා පෝලිං සෑදේ.   පෝලිං නිසා සරුවත් කාරයෝ, සාරවිට කාරයෝ, තොරොම්බල් කාරයෝ මෙන්ම පික්පොකට් කාරයෝ ද බිහිවෙති. මේ සියල්ලෝම එක්ව අවසානයේදී අස්වාභාවිකත්වය පදනම් ව බිහිවූ ගෙඩිය කඩා කපා බලති.   අවසානයට අනාවරණය වන්නේ මහ ලොකුවට තිබුණට එය සැබවින්ම පුස්සක් බවයි. මේ අත්දැකීම අගෝස්තු 18 වන දිනට එළිවෙද්දීම ඔබ ලබනු නිසැකය.

ගඟ කන්දකින් පටන් ගෙන බොහෝ දුර ගෙවා මුහුදට වැටෙයි. ගඟේ ආරම්භයට හේතුවන්නේ කන්දෙන් ගලන දිය සීරාවන්ය. ගඟ බෝහෝ ප්‍රයෝජනවත්ය. එනිසා ගඟ මෙන්ම කන්ද ද ආරක්‍ෂා කළ යුතුය. වැඩි වැස්සොත් ගඟ පිරේ. ගංගා හරස් කිරිම ආවට ගියාට හැම දෙනාටම කළ නොහැකිය. එය බොහෝ කල්ගත වන ව්‍යාපෘතියකි.        ඒ සඳහා දැනුම සහ පළපුරුද්ද ඇති පුද්ගලයන් රැසක් එක්විය යුතුය. හදිස්සිකාරයන්ට නම් කොහෙත්ම බැරිය. පිනට ගංගා හරස්වන්නේද නැත.

ඔරුව යනු ජල තරණය සඳහා පෙර දවසදී  නිපදනවන ලද අදද භාවිතා වන ප්‍රාථමික යාත්‍රා විශේෂයකි. ඔරුව දියේදී  නොපෙරෙළීමට  කොල්ලෑව අවශ්‍යය. හැබැයි කොල්ලෑව ඔරුවට වඩා කුඩා විය යුතුය. ගොඩට  ගෙන තිබියදී නම් ඔරු පැදිම මොන කජ්ජක්දැයි යමෙකුට හැඟී යා හැකිය. ඔරුව පැදිමට හොඳ පලපුරුද්දක් මෙන්ම ඇඟපතේ සවි ශක්තියත් අවශ්‍යය. එසේම කොටියාත් එළුවාත් තම්පලා මිටියත් එකවර ඔරුවෙන් ගෙන යා නොහැකිය. ඒ සඳහා උපාය මාර්ගික හැකියාවෙන් යුතු පලපුරුදු තොටියෙකු අවශ්‍යය.

ඔරුවේ රඟ නොදැන ඔරු පදින්න ගියොත් විනාශය ඔරුවට හා තොටියාට මිස ගඟට නොවේ. සමහර වැඩබැරි  කයිවාරුකාර තොටියන්ට ඒ බව දැනටම තේරුම්ගොස් ඇති බව දඟලන දැඟලිල්ලෙන්ම පෙනේ.

ඉස්සර නම් සෑම ගෙදරකම අටුවක් විය. අටුව අද ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් සැලසුම් කරන බොහෝ ගෙවල්වල නැත. නමුත් “ඇටික්” යනුවෙන් අර අටුවම  නවීකරණය කර සමහර ගෙවල්වලට හඳුන්වාදී ඇත. පැරණි ගෙවල්වල තිබූ අටුව අතිශයින් ප්‍රයෝජනවත් විය. කොටු සරු වෙනකොට අටු පිරුණි.  එහි ධාන්‍ය ගබඩා විය.

පුටුව ද ප්‍රයෝජනවත් ගෘහ භාණ්ඩයකි. ඉස්සර ගෙවල්වල එක එක උස ප්‍රමාණයේ පුටු මෙන්ම ඇඳි ඇති සහ නැති පුටුද තිබිණි. අද ඇඳි නැති පුටු නම් බොහෝ දුරට නැති අතර ඒ ගැන නම් අපටත් සන්තෝෂය. එසේම අටසිල් සමාදන් වූ  දිනට මේ උච්චාසයන මහා සයන කැප නැත. ඒ නිසා එවැනි අවස්ථාවකදී  භාවිතයට ගැනිමට උස් හෝ  මහා ගණයට නොවැටෙන පුටුවක් දෙකක් තිබුණොත් හොඳය. හැබැයි ඔක්කොම හදනවාය කියන නම් දැරූ ලෝකෙට පරකාස ඇතැම් වඩුවන්ගේ ගෙවල්වල පුටු නැත. එය ගෙදරට මරගාතයක් වුවත් එය වඩුවා සහ වඩුවාගේ බිරිඳ විසින් විසඳාගත යුතු ප්‍රශ්ණයකි. හැබැයි අටුව කඩා නම් පුටුව හැදිය යුතු නොවේ.

හැමදා තිබු අටුව කඩා පුටුව හැදීමේ මෝඩකම තේරුම් ගන්නා විට පරක්කු වැඩි වුවද කලාතුරකින් නැවත අටුව සාදා ගැනීමට අවස්ථාවන්ද ලැබේ.

කන  ඕනෑම සිව්පා සතකුට මෙන්ම මිනිසා ද සතු ඉන්ද්‍රියකි. අං ඇත්තේ ස්වල්ප දෙනෙකුට වුවද  කන උපතේ සිටම ඔවුන් සතුවෙයි. කන ශ්‍රවණය  පිණිස වන අතර ඇසීමට සුදුසුම දේ නම් බණය. හැබැයි බණ ඇසිය යුත්තේ ඒ සඳහා සුදුසුකමින් සපිරි විචිත්‍ර ධර්ම කථික භික්‍ෂු නමකගෙන් මිස රිලවුන්ගෙන් බණ අසා ජේතවනාරාමයට ගල් ගහපු එවුන්ගෙන් පැවත එන එවුන්ගෙන් නම් නොවේ. මොන දේක කනට ගත්තත් ඒ සියලු දේ වග විභාගයකින් තොරව කටෙන් එලියට දැම්මොත් නම්  කට පමණක් නොව කන ද ආරක්‍ෂා නොවේ.

අඟ එන්නේ කනට පසුවය. අඟ ප්‍රයෝජනවත් වන්නේ ආරක්‍ෂාවට පමණිය. බුද්ධිමත්හු පසුව එන අඟට වඩා මුලින්ම ආ කන ප්‍රියකරති. සමහරු අඟට නැගිම ප්‍රිය කරති. ටික කලෙකින්ම උන්ටත් අං එන අතර කන කෑම පටන් ගනිති.

යමකු අඟට ගොඩකර ගැනීමට පෙර සැලකිලිමත්වීම කනට පමණක් නොව ඇඟට  ද හොඳය.

බල්ලා යනු වෘක පවුලට අයත් ක්ෂීරපායියෙකි. මිනිසා සමඟ මිතුරුව ශිෂ්ඨාචාරය වෙත පැමිණි පළමු මිතුරා බල්ලාය. අප දැන් දිවි ගෙවන විසිඑක්වන  වන සියවස තුළ  බල්ලන් වර්ග රැසකි. මහේශාක්‍ය ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ බල්ලන්ගේ සිට අල්පේශාක්‍ය  පර බල්ලන් දක්වා පුළුල් පරාසයක්  උන්ට හිමිය. අද උන්ට සැලකිය යුතු ආකාරය විද්‍යාත්මක සහ වෘත්තීය තත්වයට දියුණු වී ඇත. බල්ලන් සමඟ වැඩි මිතුරුකම් සුබ නැත . එවිට උන් කරට නගින්න හදයි. බල්ලාගේ භාෂාව බිරීමයි. අඳුනන බල්ලන් බිරුවාට නම් මිනිසුන් බය නැත. හැබැයි උඩු බිරිලීම සම්බන්ධයෙන් නම් කොයි බල්ලා සම්බන්ධවද මිනිසුන්ගේ ඇත්තේ විරෝධතාවයකි. එසේම බල්ලාගේ ජන්ම දායාදයක් වන ඇද වලිගය නම් උණු පුරුකේ දැම්මත්  ඇද ඇරිය නොහැකිය. කච්චිය පිච්චියට ගිය ද බල්ලා නම් හෙළුවෙනි.

කඳු යනු භූගෝලිය පරිණාමයේ ප්‍රතිපලයකි. භූගෝලිය පරිණාම වාදයට අනුව කඳු ඇති වු ආකාරය පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීම් රැසකි. කඳු නැගිමට හොඳ පලපුරුද්දක් අවශ්‍ය වන අතර අද එය ක්‍රීඩාවක් ද වෙයි. හැබැයි මොන කන්ද නැග්ගත් ප්‍රවේසමෙනි. පය පැකිලුණොත් පල්ලමට පෙරලේ. නමුත්  බල්ලන්ගේ බිරීමෙන් නම් කඳු පාත්වු බව විද්‍යාත්මක ඉතිහාසයයේ සඳහන් නොවේ. එසේනම් අඳුනන බල්ලන් බිරීමෙන් නම් කොහොමටවත් කඳු පාත්විය නොහැකිය. තවලමද ඇතැම්විට කන්ද මෙන්මය. නාඳුනන බල්ලන් බිරුවත් අඳුනන බල්ලන් බිරුවත් ඉදිරියටම ඇදේ.

අමුඩය පෙර කාලයේ පටන්ම ගොවියාගේ ඇඳුමය. කෙතේ කමතේ නිළ ඇඳුම එයයි. එය ඉතා සරල සහ පහසු ඇඳුමක් වන අතර ශීලාචාර ද වෙයි. අමුඩය නිර්මාණය  කළ ගොවීන්ට එහි බුද්ධිමය දේපළ හිමි විය යුතු වුවත් ගොවියන් ගොවිතැන්බතක් කරගෙන තමන්ගේ පාඩුවේ හිටියා මිස එය ලබාගන්නට ගියේ නැත. එබැවින් බටහිර රටවල් එය කොපිකර නානාප්‍රකාර ඇඳුම් වර්ග නිර්මාණය කළෝය. අපට අපේ පැරණි දේ කවදත් අගය නැත. කිසිවකු අමුඩයට සිනාසිය යුතු නොවේ. මඩ සොදාගත් ගොවියාට රජකමට සුදුසු වේ නම් අමුඩයට විරුද්ධවීම පදනම් විරහිතය.

අතීසාරය යනු භයානක රෝගයකි. එයින්  මරණය පවා සිදුවිය හැකිය. එයට සුදුසුකම් ලද අත්දැකිම් ඇති පිළිගත් වෛද්‍යවරයකුගෙන් බෙහෙත් ගත යුතුය. හදිස්සියට වෙදරාල වුනු මතෙ අප්පුලාගේ අරළු අටේ කසාය අතීසාරයට නම් හරියන්නේ නැත. නිසැකවම ලෙඩේ වැඩිවෙයි. මරණය ද සිදුවෙයි. එවිට බෙහෙත් ලැබෙන්නේ හදිස්සියට වෙදා වූ කෙනාටය. එසේම කයිවාරුකාර රටේ වෙද්දු සහ ලෝක වෙද්දු ද සිටිති. ඒ ගැන ද සැලකිලිමත් විය යුතුය.

මොනම හදිස්සියකදීවත් අමුඩය නම් අතීසාරයට ප්‍රතිකාර වශයෙන් නිර්දේශ කළ නොහැකිය

ඉස්සර කොයි අප්පුහාමිටත් උදෑසන පැදුරෙන් නැගිට්ට ගමන් ළමාහාමිගෙන් ලැබුණේ කැඳ කෝප්පයකි.       හැබැයි ලමාතැනිලා මුදලි මුහන්දරම්ලාට ද,  මැණිකේලා නිලමේලාට  අප්පොලාට ද උදේට මොනව දුන්නා දැයි අපි නොදනිමු. දැන් නම් හන්දියක් ගානේ කොළ කැඳ කඩ දකින්නට ලැබෙන අතර එය ඉතා යහපත් ප්‍රවණතාවයක් මෙන්ම පැරණි දේ අගය දන්නා අය ඉන්නා බවට ද සාක්ෂියකි.

ආඬින් යනු එක්තරා ආකාරයක කල්ලතෝනීන් පිරිසකි. ආඬින් ගැන හොඳ විස්තරයක් කරන්නේ රොබට් නොක්ස්ය. ඔහුට අනුව ඉල්ලං කන  ආඬි අඬහැරයෙන් මිදුනේ දොලොස් බාගය පමණිය. ඒ උන් පැමිණි මුල් අවස්ථාවේදීම තලා පන්නා දැමිමෙනි. සීතාවක රාජසිංහ රජුද ආඬියෙකු ලංකර ගත්  නිසා අමාරුවේ වැටුන බව ඉතිහාසයේ සඳහන්ය. ආඬින් ලංකර නොගැනීම කොයි රජ්ජුරුවන්ට වුනත් ගුණදායකය. අද නම් ආඬින් ගැන සමාජ විද්‍යාඥයන්  වාර්තා නොකරයි. නමුත් ආඬින්ගෙන් පැවත එන්නන් සිටින බවට යම් යම් සිදුවිම් සාක්‍ෂි සපයයි. ආඬින් කැඳ පිසූ හැටි සඳහන් නොකරන්නේ එය සැවොම දන්නා ජනප්‍රවාදයක් හෙයිනි.

එදා ඉඳන් දන්න කියන අය සමග කන්න බොන්න පුලුවන් කම තිබියදී  කැඳේ රඟ දැන දැනත් ආඬින් සමග කැඳ පිස පානය කිරීමට ඔබ කැමතිනම් ඒ ඔබේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහසයි. නමුත් මුටිටියට වැටෙන දේ ගැන ඔබ විමසිලිමත් විය යුතුය.

රන් යනු ඉතා අගනා ලෝහයක් වෙයි. රන් දුර්ලභ නිසා එය අතිශය ඉහල වටිනාකමකින් යුක්තය.               ආර්ථික විද්‍යාවේදී  රන්, හුවමාරු මාධ්‍යයක් සහ වටිනාකම එක්රැස් කිරීමේ මාධ්‍යයක්  ලෙසද සැලකේ.             රන් දිලිසෙන සුළු වුවත් දිලිසෙන සියල්ල රන් නොවේ. ඉවතට විසි කරන සැමන් ටින් ඉර එලියට මෙන්ම හඳ එලියට ද මුලින් දිලිසෙන නමුත් ටික කලකදීම මල බැඳෙයි. රන් එසේ නොවන අතර ආභරණ සෑදීම යොදා ගන්නේ එහි වටිනාකම මෙන්ම දිලිසෙන සහ මල නොබැඳෙන බවද හේතුවෙනි. නමුත් කෙටි කාලීන භාවිතාව සඳහා හිස් සැමන් ටින් වලින් ද ආභරණ සාදාගෙන නාඩගම් වලදී  වලදී භාවිතා කළට එහි වරදක් නැත.

කටුස්සා යනු උරග පවුලට අයත් සත්වයෙකි. ඉන්නා පරිසරයට අනුව පාට වෙනස් කිරිම උගේ ජන්ම ගතියකි. කෙමෆ්ලාජ්  හෙවත් කැලෑ සටන් ඇඳුම ගැනද හමුදා නිලධාරින් ඉගෙන ගන්නේ අතීතයේ සිටි කටුස්සාගෙනි. නමුත් වර්තමාන කටුස්සා කළ හමුදා බුද්ධි අංශ නිලධාරීන් පාවාදීම කළ අවස්ථාවේ අතීත කටුස්සා සිටියානම් විලිලජ්ජාවේ බැරුව සියදිවි නසාගනු ඇත. කටුස්සා ලොකු ලොකු දේවල් පෙන්නා  ඕවා “අලින්ගෙයි අපෙයි වැඩ” යැයි කියූ බව හීන් සැරයේ සඳහන්ය. හොඳ වෙලාවට ඒ කාලයේ විවෘත කිරීම් වගේ දේවල් තිබුණේ නැත. මෑත අතීතයේදී  ඔය වැනි කටුසු කථා වර්තමාන කටුස්සා වෙතින්  අපි කොතෙකුත් ඇසුවෙමු. බුද්ධිමත් අලි නම් කටුස්සා සමඟ බජනයට යන්නේ නැත. මක්නිසාද යත් තම සීයා කෙනෙකුගේ හොඬවැල තුළට ගිය කටුස්සා කළ හදිය මතක හෙයිනි. සමහර බුද්ධිමත් අලින් නම් කියන්නේ අලියාගේ හොඬවැල තුළට නැවතත් කටුස්සා රිංගා ඇති බවත් කටුස්සා එලවන තුරු අලින්ට වගතුවක් නැති බවත්ය.

වේදේහ රජ්ජුරුවන්ද හිත හොඳකමට කටුස්සාගේ කරේ රන් බැන්ද මුත් අන්තිමට රජ්ජුරුවන්ට උගේ පාට් බලන්නට සිදුවිය. මෑත කාලයේ රජ කෙනෙකුටත් සිදුවූයේ එම අත්දැකීමම විඳගැනීමටය.  කටුස්සන්ගේ කරේ රන් නොබැඳීම පමණක් නොව උන් සමඟ බජනයට  නොයෑම ද රජ්ජුරුවන්ට මෙන්ම අලි මිනිස් කාටත් ගුණදායකය.

ඇටිකෙහෙල් යනු  කෙසෙල් පවුලටම අයත් උප විශේෂයක් වන අතර බොහෝ විට දක්නට ලැබෙනුයේ කැලෑබද ප්‍රදේශවලය. ඇටිකෙසෙල් ඇට බහුල ගෙඩි වර්ගයක් වුවද එය ඉතා රස සහ සුවඳ බව ඒ පිළිබඳ අත්දැකීම් ඇත්තෝ පවසති. මේ ඇට බහුල බව මලබද්ධය ඇති කරයි. ඇටිකෙහෙල් වලට බෙහෙවින් රුචි උගුඩුවා මින් ලෝක අමාරුවක වැටෙයි.

මලබද්ධයෙන් තදින්ම පීඩාවිඳින උගුඩුවා තම සිතේ යහපාලනය ස්ථාපිත කරගනිමින් වෙනසක් ඇතිකරගෙන  ඇටිකෙහෙල් ගස් පළාතෙවත් නොයන බවට තමන්ටම පොරොන්දු වෙයි.  නමුත්  උගුඩුවාට ඇටිකෙහෙල් නම් නොකා බැරිය. ටික කලක් යන විට මලබද්ධයෙන් ඇතිවූ  පීඩාව ඌට අමතක වෙයි. පළමුව  ඇටිකෙසෙල් ගස් දෙසට ගියද නොකමි යැයි සිතයි. දෙවනුව  ගසට ද නගියි. තුන්වනුව ගසට නැග්ගද නොකමියි සිතයි. සතරවනුව  එක ගෙඩියක් පමණක් කෑවට වරදක් නැතැයි සිතා කයි. පස්වනුව  ඇටිකෙහෙල් කැනම කා දමා මලබද්ධයෙන් පීඩාවිඳිමින් බිරන්තට්ටුවී සිටියි. ඒ උගුඩුවාගේ පංචවිධ ක්‍රියාවලියයි.

තමන්ට වන පොරොන්දුවවත් ඉටුකිරීමට නොහැකි උගුඩු පොරොන්දු සම්පුර්ණයෙන්ම නිර්දේශපාලනිකය.

Copyright © 2017 LNW TODAYThemetf

To Top