විශේෂාංග

පක්‍ෂයට ද්‍රෝහි වූ බලලෝභී මෛත්‍රි ගැන හෙළිදරවු කරනු!

ශ්‍රී ල නි පක්‍ෂය හා එක්සත් ජනතා නිදහස් සංධානය වහාම තමන් රවටා ගැනීමේ ව්‍යාපෘතියෙන් බැහැර නොවුවහොත් එ ජා පක්‍ෂය ඉදිරි මහා මැතිවරණයකින් ජයග්‍රහණය කරනු ඇත. දහනවවැනි සංශෝධනය විමල් වීරවංශගේවත් ශ්‍රී ල නි ප මහින්ද කණ්ඩායමේවත් ජයග්‍රහණයක් නොවන බව පැහැදිලි ය. අප අකමැති වුවත් එය අගමැතිකමට කෑදරවී පක්‍ෂය අතහැර ගිය මෛත්‍රිපාලගේ ජයග්‍රහණයකි. ජනමාධ්‍ය ඔස්සේ අද ඔහු සියල්ල අත්හැරි බෝසතාණන් කෙනකු බවට පත්කිරීමේ වෑයමක් ඇත. සංධානය පළමුව කළ යුත්තේ මෛත්‍රිපාල පක්‍ෂයට ද්‍රෝහි වූ බලලෝභී පුද්ගලයකු බව ජනතාවට හෙළිදරවු කිරීම ය.

අප පසුගිය කාලයේ ඇතැම් දේ නොකීවේ එසේ කීම මහින්ද රාජපක්‍ෂ සංධාන දේශපාලනයේ නායකත්වයට ගෙන ඒමට බාධාවක් වන බව කල්පනා කළ බැවිනි. රනිල් හා මෛත්‍රිපාල වැනි බටහිර ගැත්තකු නොවූ  මහින්ද යටත්විජිත විරෝධී අරගලයට නායකත්වය දිය හැකි එක ම පුද්ගලයා ය. එහෙත් මහින්ද ඒ නායකත්වය දීමට සූදානම් ද යන ප්‍රශ්නය අද කණගාටුවෙන් වුවත් ඇසිය යුතු ය. ශ්‍රී ල නි පක්‍ෂය දිය කර හැර එහි සාමාජිකයන් තම පක්‍ෂයට එකතු කර ගැනීමට උත්සාහ කරන පුද්ගලයකු සංධානයේ සිටින බව අමතක නොකළ යුතු ය. ඒ අතර සමහරු බැසිල් රාජපක්‍ෂ නායකත්වයට ගෙන ඒමට සූදානම් වෙති. 

සංධානය අද කීමට උත්සාහ කරන්නේ තමන් ගෙනා සංශෝධන නිසා දහනවයේ අවශ්‍යතා ඉටුකර ගැනීමට රනිල්ට නොහැකි වූ බව ය. එහෙත් සිදුවූයේ කුමක් ද? අපි තවමත් සුද්දා ඉගැන්වූ ආණ්ඩුක්‍රම විෂයයෙහි එල්ලී රට ජාතිය ආගම අමතක කරමු. පළමුව ඇසිය යුතු ප්‍රශ්නය දහනවය සිංහලයන්ට හිතකර ද යන්න මිස ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයකට හිතකර ද යන්න නො වේ. හෙට අනිද්දා ලංකාවට පැමිණෙන ඇමරිකානු රාජ්‍ය ලේකම් සිංහලයන්ට මෙරට හිමිවිය යුතු තැන තවදුරටත් අහිමි කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව රනිල්ට උපදෙස් දී ආපසු යනු ඇත්තේ මෝඩ සිංහල බෞද්ධයන්ගේ සිත් සතුටුවන ආකාරයට තොරණක් ද විවෘත කිරීමෙන් පසුව ය. 

දහනවය ගෙන ආවේ රනිල්ට ජනාධිපති වීමට නොහැකි නිසා  ය යන්න සංධානය විසින් නො පිළිගැනෙයි. මේ රටේ දෙමළ ජාතිවාදය නිල වශයෙන් 1833 දක්වා  දිව යන බව මා දන්නා තරමින් කිසිම දේශපාලනඥයෙක් නො පිළිගනියි. සිංහලයන්ට වියුක්තව කල්පනා කිරීමට නො හැකි ය. එහෙත් ඔවුහු වියුක්ත ප්‍රවාද ඇති බටහිර විද්‍යාවට දණ්ඩ නමස්කාර කරති. වියුක්තව සිතන්නට පුරුදු නොවී වියුක්ත ප්‍රවාදවලට නමස්කාර කිරීමෙන් අපට බටහිරයන් පැරදවිය නො හැකි ය. 

අද සංධානය පවසන්නේ ව්‍යවස්ථාදායක සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව තුනකින් වැඩිකර ගැනීම විශාල ජයග්‍රහණයක් කියා ය. එහෙත් මේ මන්ත්‍රීවරුන් පත්කෙරෙන්නේ අගමැතිගේ හා විරුද්ධ පක්‍ෂ නායකයාගේ එකඟත්වය මත ය යන්න මගේ විශ්වාසය වෙයි. (මා තව ම නිල සංශෝධන කියවා නැත) එවිට සිදුවන්නේ කුමක් ද යන්න පිළිබඳ අටුවා ටීකා අවශ්‍ය නො වේ. ඊනියා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුද්දන් විසින් නිර්මාණය කෙරී ඇත්තේ නායකයන්ට අවශ්‍ය අන්දමට පාර්ලිමේන්තුව මෙහෙයවීමට ය. පර්ලිමේන්තුවට වගකීම යන්න ද හිස් පාඨයක් පමණකි. ජනාධිපති පාර්ලිමේන්තුවට වගකිව යුතු ය යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? අඟහරුවාදා ජනාධිපති පාර්ලිමේන්තුවට වග කී ආකාරය අපි දුටුවෙමු. ඔහු තමාට අවශ්‍ය අන්දමට උපක්‍රම මගින් පාර්ලිමේන්තුව හැසිරවී ය. අඩු තරමෙන් සංධානයට ඊනියා සංක්‍රමණීය විධිවිධානවලින් අගමැති තම ධුරයේ දිගට ම කටයුතු කරන්නේ ය යන්න ඉවත්කර ගැනීමට හැකිවිණි ද? ජී එල් පීරිස් තමන් කියවා ඇති පොතක් අනුව යමින් එය ඊනියා අන්තර්කාලීන විධිවිධානයක් බව පවසා මන්ත්‍රීවරයකු ගෙනා සංශෝධනය විසිකර දමා ඇත. 

සංධානය රට ජාතිය ආගම වෙනුවට ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තුව ගැන එතරම් සැලකිලිමත් වී නම් කළ යුතුව තිබුණේ රනිල්ට පික්පොකට් අගමැතිකම නීත්‍යානුකූල කිරීමට ඉඩ නොදී 54 (අ) වගන්තිය සංශෝධනය කිරීමත් 42 (4) වගන්තිය සංශෝධනය කර අගමැති තේරීම පාර්ලිමේන්තුවට පවරා ගැනීමත් ය. එහෙත් සංධානය ඒ වැදගත් සංශෝධන දෙක බක පණ්ඩිතයන්ගේ අවශ්‍යතාව මත පැත්තකට දමා ඇත. බටහිර දැනුමට වහල් වී සිංහලයන්ට ජයග්‍රහණයක් නැත.

නලින් ද සිල්වා

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Copyright © 2017 LNW TODAYThemetf

To Top