Political

ජිනීවා මානව හිමිකම් කොමිසමේ යෝජනාව පිළිබඳ සත්‍යය…!

Published on: Apr 6, 2019- මීට සති කිහිපයකට පෙර පැවැති ජිනීවා මානව හිමිකම් කොමිසමේ 40 වැනි සභාවාරයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලර් මහත්මිය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි.

එම ජිනීවා සැසිවාරයට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ ඇතැම්සාමාජිකයින් ඉදිරිපත් කළ විකෘති, සාවද්‍ය තොරතුරුමෙන්ම ඔවුන්ගේ ස්වයං ප්‍රමෝදය උපුටා දැක්වූ ප්‍රවෘත්ති වාර්තා දෙස පසුගිය දින කිහිපයේ මා උනන්දුවෙන් බලාසිටියෙමි. කෙසේ නමුත් 2015ඔක්තෝබර් මස මානව හිමිකම් කොමිසමේ සැසිවාරයේදී සම්මත කරගත් 30/1 නමැති යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේ හිටපු විදේශ කටයුතු ඇමැතිවරයා වශයෙන් මෙකී ද්වේශ සහගත තර්කමෙන්ම සාවද්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම මාගේ වගකීමක් කොට සලකමි.

මාදුටුඇතැම් මාධ්‍ය ප්‍රකාශ තුළ මානව හිමිකම් කොමිසමේ 40 වැනි සැසියට නම් කළ නියෝජිත පිරිස පසුව වෙනස් කළ බව වාර්තා විය.  එය හුදෙක් මහජනතාව නොමග යැවීමේ උත්සාහයක් සේම සාවද්‍ය ප්‍රකාශයකි.  එසේම මේ ප්‍රකාශ හරහා මහත් කැපවීමෙන් රාජකාරි කටයුතු කරන රජයේ නිලධාරීන්ට විරුද්ධව ඕපාදූප මෙන්ම අභූත චෝදනා රාශියක් ද එල්ල කරතිබිණි.

සත්‍යවශයෙන්ම 40 වැනි මානව හිමිකම් සැසිවාරයට කොළඹින් නියෝජිත පිරිසක් යැවීමේ කිසිම අදහසක්නොතිබුණි. ඊට මූලික හේතුව වූයේ කාර්යක්ෂම,  පළපුරුදුකාගෙත්ගෞරවයට පාත්‍ර වූ තානාපතිවරයෙකු ජිනීවාහි සේවය කිරීමයි.  එතුමා එක්සත් ජාතීන්ගේ ක්‍රියාපටිපාටීන් සහ සාකච්ඡාමයකරුණු සම්බන්ධයෙන් මනා අවබෝධයක් සහිත ප්‍රවීණයෙකු පමණක් නොව ලැබී තිබෙන උපදෙස් අනුව ඒ කටයුතු වෘත්තීමය ආකාරයට උසස් තත්වයෙන් කළමනාකරණය කළ හැකි බව භාවිතාවෙන් පෙන්වා දී ඇති රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.  එපමණක් නොව එතුමා ඇතැමුන් මෙන් තමන් ගැන පුරාජේරු නොකියන්නෙකි.එසේම හිටපු සමහර තානාපතිවරුන් මෙන් සඟවාගත්  න්‍යාය  පත්‍රවල වැඩ කරනවා වෙනුවට අදේශපාලනිකව කටයුතු කරමින් රටේ පවතින ආණ්ඩුව ජාත්‍යන්තරය තුළ අපහසුතාවයට පත්නොවන සේ ක්‍රියා කරන්නෙකි.

මා බලාපොරොත්තු වූයේ මානව හිමිකම් කොමිසමේ හතළිස් වැනි සැසියේ දී ශ්‍රී ලංකාවේරාජ්‍යතාන්ත්‍රික පරිණතභාවය, දක්ෂතාවය වගේම ජාත්‍යන්තර තලයේදී තාර්කිකව ප්‍රශ්න විසඳා ගැනීමේහැකියාව රටක් විදිහට ප්‍රදර්ශනය කරනු ඇති බවයි.  මන්ද ජාත්‍යන්තරයේදී ශ්‍රී ලංකාව ඇති කරගෙන තිබෙන යහපත් තත්ත්වය මෙන්ම  ස්වාධීන විශ්වාසවන්ත හවුල් කාරයෙක් ලෙස ජාත්‍යන්තරය අපිව හඳුනාගෙන‍ ඇති ආකාරය සියලු දෙනාටම වැදගත් කාරණාවක් බැවිනි.

තවත් ආකාරයකින් බැලුවොත් කෲර අභ්‍යන්තර යුධ ගැටුම් අවසන් වී දශකයක් පමණ ගෙවුණු තැන අද දිනයේ අපටවඩා වැදගත් වනුයේ කුමක් ද යන්න මෙහි දී විමසා බැලීම වටී.  එසේම පසුගිය ඔක්තෝබර් 26 මේ රට ඒකාධිපතිවාදයට ඇද දැමීමට ඇතැමුන් සූදානම් වූ අවස්ථාවේ මේ රටේ මහජනතාවත්, පාර්ලිමේන්තුවත්, අධිකරණයත් එකාවන්ව ඒ උත්සාහය පරාජය කිරීමෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවේ විභවතාවය මුළු ලෝකෙටමපෙන්වාදීමට මෙම සැසිය හොද අවස්ථාවක් කරගැනීමට ඉඩ නොතිබුණේ ද?

මානව හිමිකම් කොමිසමේ 40 වැනි සැසියේ දී මුළුමහත් ලෝකයටම ශ්‍රී ලංකාව කොතෙක් දුෂ්කර වුවද නොනවත්වා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, සංහිඳියාව  අත්කර ගැනීම, කල්පවත්නා සාමය මෙන්ම සමානාත්මතාවය පෙරදැරි කරගත් ආර්ථික සංවර්ධනය අත්පත්කර ගැනීමටත්, රටේ සියලු දෙනාගේ ජීවිත සෞභාග්‍යමත් කරලීමටත් ගන්නා උත්සාහය තුළ ලබා ඇති ජයග්‍රහණ පෙන්වා දීමට මෙය අවස්ථාවක් කරගැනීමට තිබුණු බව සිහිපත් කළ යුතුය.

එසේම සැබෑ සංහිඳියාව අත්කර ගැනීමේ බරපතළ මෙන්ම දයාවෙන් පිරිපුළුල්, දැනුවත්, සාකච්ඡාවක්දැකීමට මා බලාපොරොත්තු වූයෙමි.  එහෙත් අප අත්දුටු ඇත්ත යථාර්ථය වූයේ එවැනි සබුද්ධික තර්කානුකූල ප්‍රවේශයක් වෙනුවට හුදු වාගාලාප පමණි.  ජිනීවා හිදී ලංකාව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ කුසලතා, විශිෂ්ටත්වය, නිවුණු බව මෙන්මපරිණත බව වෙනුවට ඉස්මතුව ආවේ හුදු ප්‍රදර්ශනාත්මක සංදර්ශනයකි.    මෙහි සත්‍ය යතාර්ථය නම් ස්වයං පුරාජේරු තුළින් ජනතා හැඟීම් කුපිතකරවා ජාතිකවාදී ප්‍රචාරණය ඉස්මතු කොට එකිනෙකා කෙරේ සැක බිය අවුළුවා, අවිනීතිය සමාජ ගතකර හෝ ඊළඟ මැතිවරණයේ දී වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමේ රැවටිලිකාර නිර්ලජ්ජිත සාහසික උත්සාහයකි.

රටේ සුවිශේෂී දේශපාලන තානාන්තර හොබවන නායකයින් පවා එකිනෙකාට  පරස්පර මෙන්ම, අතිශයෝක්තියට නගන ලද මතිමතාන්තරකරළියට ගෙන එමින් සිටිති.  එවැනි වාගාලාප අතරින් වඩාත්ම පදනම් විරහිත රට නින්දාවට පත් කරන කතාබහ ඉදිරිපත් කරන්නේ කුමන අයෙක්දැයි සිතුවහොත් ඒ වෙනුවෙන් මේ අය එකිනෙකා අතර නොනිමෙන තරඟයක් තිබෙන බව පෙනී යයි. මෙයින් සමහරු ලෝකයේ ඇති වැදගත්ම මානව හිමිකම් සමුළුවට සහභාගිවීමපිළිබඳවස්වයං අභිමානය ඕපාදූප, සුරංගනා කතාවල දවටා රවටා ඉදිරිපත් කරමින් සිටිති.

ඇතැමුන් තමන්ගේ වීරවික්‍රම ක්‍රියාවන් හරහා ගෞරවනීය තනතුරක් වූ චිලීයේ හිටපු ජනාධිපතිනිය ද, ආරක්ෂක අමාත්‍යවරියදවූ, තවදකලක් එක්සත් ජාතීන්ගේ   කාන්තාවන් පිළිබඳ සංවිධානයේ  ප්‍රධානියාද   වූ වර්තමාන එකසත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය වන මිෂෙල්  බැෂලර් මහකොමසාරිස්වරියට රාජකාරි කිරීමට ඉගැන්වූ බව ද පැවසූහ.

ශ්‍රී ලංකාවේ සත්‍ය මිතුරියක මෙන්ම ගෝලීය දකුණේ දියුණු වන රටවල හිතවාදිනියක ද වන තම රටේ භීෂණයෙන් දිවිගලවාගත් තැනැත්තියක් වූ මිෂෙල් බැෂලර් මහකොමසාරිස්තුමියගෙන් අප සමාව ගතයුතුය.  එබැවින් සාමය හා සංහිඳියාව ඇති කරගැනීමටත් සහෝදර ජනතාවගේ වේදනා බර තුවාල සුව විය යුතු බවටත්, නැවත කිසිදා යුධ ගැටුම් ඇති නොවීමටත්, රට තුළ සමෘද්ධිය උදාකර ගැනීමටත් ප්‍රාර්ථනා කරන තර්කානුකූල  ශිෂ්ඨ අව්‍යාජ මෙන්ම කරුණාවෙන් යුතුව, බැරූරුම්ව සිතන, අවංක එළැඹි සිහියෙන් සිතන පතන සියලු ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ඇයගෙන් සමාව ඉල්ලීමට කැමැත්තෙමි. මහකොමසාරිස්තුමියනි, ඔබගේ ප්‍රකාශය පිළිබඳව ව්‍යාජ අර්ථ නිරූපණහිමිවීම ඔබ වැනි අයෙකුට තරම් නොවේ.

නමුත් එම සියළු නරුමවාදී ප්‍රකාශනයන් අතර නරකම ඒවා මොනවාදැයි අප හඳුනාගත යුතුය.එහිදී රටට විරුද්ධව චෝදනා ඇති බවටකතිකාවක් ඇතිකර ගැනීමේ ස්වයං අර්ථකථනය විමසා බැලීම වටී. එය ජිනීවා මානව හිමිකම් රැස්වීමට සහභාගි වූ ලංකා නියෝජිත කණ්ඩායම විසින්  පබැඳුම්කර බෙදා හැරි මතයකි.  ස්වයං නිර්මිත අපරාධ පාරා වළල්ලක් පිළිබඳ ප්‍රබන්ධයක් ගොඩනඟන අතරතුර සිය නොහැකියාව සඟවා ගනිමින්  ජිනීවා හිදී ලෝකයට විරුද්ධව මහා සටනක් දිනාගත් වීරයන් ලෙස පුරාජේරු දොඩවන මහත්වරුන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් ඇත.  එනම්, මේ සියළු සංදර්ශන මැද ශ්‍රී ලංකාවේ පූර්ණ සම සහභාගිත්වයෙන් හා සම්මුතියෙන්මෙවර ජිනීවා යෝජනා සම්මත වූයේ කෙසේද යන්නයි.  එමෙන්ම  යෝජනා සම්මත වූයේ කවර පදනමකින් ද යන්නයි.  තවද යෝජනාව සම්මතවීමෙන් පසු මහජන මුදලින් ලංකාවේ නියෝජිත පිරිස ප්‍රීති සම්භාෂණයක් පැවැත්වූයේ ඇයි දැයි ඔවුන් කිවයුතුය.තවතවත් ව්‍යාජ පුවත් මැවීම දැන් අවසන් කළ යුතු බව ඔවුන්ට කිව යුතුය.ජිනීවා මානව හිමිකම් කොමිසමේ 40 වන සැසියේ දී සත්‍ය ලෙසම සිදුවූයේ කුමක්ද? මෙවර අංක40/1  යටතේ “ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම” යනුවෙන් සම්මත වූ යෝජනාව කුමක්ද?

සරලව කිවහොත් රටවල් 47 ක සාමාජිකත්වය සහිත මානව හිමිකම් කොමිසම ලංකාවේ සහ අපගේ අසල්වැසි මාලදිවයිනද ඇතුළු රටවල් 46ක සම සහභාගිත්වයෙන් ඒකමතිකව යෝජනාවක් සම්මත කර ගන්නා ලද්දේ 2015 වසරේ  30/1 සහ 2017 වසරේ34/1 යෝජනාවන්  තවදුරටත් කටයුතු සඳහා දීර්ඝ කරමිනි.

2017 දීත් එවැනිම සම සහභාගිත්වයක් ඇති යෝජනාවක් මගින් කාලය ලබා ගැනීම සිදුකළ අතර එකල යෝජනාවට අත්සන් කළේ හිටපු ජිනීවා නිත්‍ය නියෝජිත මෙන්මමෙවර සැසිවාරයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ වර්තමාන විදේශ ලේකම්වරයාමය.  ඔහු විසින් 2015 සහ 2017 ජිනීවා යෝජනා අත්සන් කරන විට වර්තමාන තානාපතිවරයාට දැන් සිදුවනවාක් මෙන් රට සහ ආරක්ෂක හමුදා පාවාදීමේ අවලාද හා චෝදනා මතු නොවීය.

මෙවර 40 වන සැසිය  පැවැත්වීමට පෙර මේ වසරේ දී ජිනීවා යෝජනා සඳහා තාක්ෂණික හා ක්‍රියාපටිපාටිමයදිගුවක් ලබා ගැනීමේ තීන්දුව ගනු ලැබූයේ පෙබරවාරි මාසයේදී අතිගරු ජනාධිපතිතුමාව සහ ගරු අග්‍රාමාත්‍යතුමාව දැනුවත් කිරීමෙන් පසුවය.

ගරු අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය යටතේ එන සංහිඳියා සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ මහ ලේකම් වන මනෝ තිත්තවැල්ල මහතා ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමේ උපදෙස් ජිනීවා නිත්‍ය නියෝජිත ඒ.එල්.ඒ.අසීස් තානාපතිවරයා වෙත දැනුම් දෙන ලදී.  සංහිඳියා මහලේකම් කාර්යාලය 2016 වසරේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව පිහිටුවන ලද්දේ ජිනීවා යෝජනා 30/ 1 ක්‍රියාත්මක කිරීම ඇතුළු සමස්ත සම්බන්ධීකරණ  හා සංහිඳියා කටයුතු සඳහාය.තානාපති අසීස් මහතා වෙත මෙම උපදෙස් ලබාදීම විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා විසින්ද සිදු කළ බැවින් අමාත්‍යතුමා ඒ පිළිබඳව හොඳින් දනී.  එසේම මාරපන විදේශ අමාත්‍යවරයා අදාළයෝජනාව සම්බන්ධයෙන් සම්බන්ධීකරණ කටයුතු තිත්තවැල්ල මහතා සමඟ සාකච්ඡා කොට ක්‍රියාත්මක කරන මෙන් අසීස් තානාපතිවරයා වෙත උපදෙස් ලබා දී ඇත.  එමෙන්ම ඒ පිළිබඳ විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතාවද දැනුවත් කර තිබේ.

එවැනි පසුබිමක කාලය දීර්ඝ කිරීම සහ පටිපාටික කල්තබාගැනීමේ අදහසේ තේරුම කුමක් දැයි සොයා බලනු වටී.එහි තේරුම නම් 2015 ජනවාරි මාසයට පෙර බොහෝ අවස්ථාවල සිදු වූ පරිදි මානව හිමිකම් උල්ලංඝණයන් සහ අපරාධ මුක්තියට එරෙහිව ශ්‍රී ලංකාව දෝෂ දර්ශනයට ලක් කරනවා වෙනුවට ශ්‍රී ලංකාව සංහිඳියාව අත්කරගැනීමේ සාර්ථක ගමනක යෙදෙන රටක් ලෙස හඳුනාගනිමින් ඒ පිළිබඳ ජාත්‍යන්තරයේ විශ්වාසය නැවත තහවුරු කිරීමකි. ඒ හරහාශ්‍රී ලාංකිකයෝ වගකීම් හඳුනන, මුහුකුරා ගිය, ගෞරවනීය ජනතාවක් බවත් ඔවුන් ඉතා සංකීර්ණ පශ්චාත් ගැටුම් දුක්ගැනවිලි සඳහා සත්‍යය යුක්තිය මෙන්ම හානිපූර්ණය ලබාදෙමින් යුද්ධයේ කැළැල් සුව කිරීමට සූදානම් බව ජාත්‍යන්තර විසින් පිළිගෙන තිබේ. එසේම ශ්‍රී ලාංකික ජනතාව රටේ සියළු දෙනාගේ අයිතිවාසිකම් තහවුරු කරමින්  නීතියේ ආධිපත්‍ය  පිහිටුවා නැවත ගැටුම් ඇති නොවන ලෙස කටයුතු කර දිගුකාලීන ආර්ථික අභිවෘද්ධිය, සංවර්ධනය සහ සමෘද්ධිය අත්කර ගැනීමට අවශ්‍යය ස්ථාවරත්වය ඇතිකර ගැනීමටසූදානම් බව හඳුනාගෙන තිබේ.

ජිනීවා යෝජනා 40/1 මෙසේ සඳහන් වේ. “තම රට තුළ සමස්ත ජනතාවගේ සියළු මානව හිමිකම් සහ මූලික නිදහස තහවුරු කිරීමට සෑම රාජ්‍යයක්ම බැඳී සිටී” සත්‍ය ලෙසම එය අපගේ වගකීමක් වන අතර ලංකාවේ සමහරුන් මෑතක දී කියා සිටිපරිදි ලෝකයේ වෙනත් පිටස්තර කිසිවෙකුට එම වගකීම් නොපැවරේ.

යෝජනා ක්‍රියාත්මක කිරීමට කාල දිගුවක් ලබාදීම යනු  කිසියම් හෝ ආකාරයකට රටට එරෙහි ආර්ථික හෝ දේශපාලන සම්බාධකපැණවීම නොවේ. 2015 ඔක්තෝබර් මස පළමු දින සම්මත කරගත් 30/1 මුල් ජිනීවා යෝජනාවේ කිසියම් හෝ තැනක සම්බාධක පිළිබඳ  සඳහන් වන්නේ දැයි පෙන්වන ලෙස මෙවර ජිනීවා ගිය නියෝජිත පිරිසේ ඕනෑම අයෙකුට මා අභියෝග කිරීමට කැමැත්තෙමි.

දින 100 වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඡන්ද දායකයින් ජනාධිපති සිරිසේන වෙත ලබා දුන් ජනවරමින් පසු 30/1 යෝජනාවට 2015 දීශ්‍රී ලංකාවේ සම අනුග්‍රහය ලබා දුන්නේරටේඅභ්‍යන්තරික ප්‍රශ්න ජනතාවගේ ස්වෛරී අයිතිය මත පදනම්ව  ඓතිහාසිකව අපට පැවරී ඇති කල් පවත්නා සාමය සහ සංහිඳියාව ළඟාකර ගැනීමේ වගකීමට නොමඳව උර දෙමිනි.දැන් දැන් ඇසෙන විවිධ ආකාරයේ නන් දෙඩවිලි පසෙකලා බැලුවහොත් 30/1  යෝජනාව  පදනම්ව ඇත්තේ ශ්‍රී ලාංකික අපේම  සත්‍යය සෙවීම, යුක්තිය, හානි පූර්ණය සහ නැවත ගැටුම් ඇති නොවීම යන අරමුණු කැටිකොට මා විසින් විදේශ ඇමතිවරයා ලෙස ආණ්ඩුව වෙනුවෙන්  2015 සැප්තැම්බර් 14 දින මානව හිමිකම් කොමිසමට  ඉදිරිපත් කළ මූලික අදහස් බව පැහැදිලිය.

2015 අගෝස්තු 14 දින පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පැවැත්වූ රැස්වීම්වලදී මගේසැප්තැම්බර් ජිනීවාප්‍රකාශයේඅන්තර්ගත වියයුතු කරුණු අතිගරු ජනාධිපතිතුමා හා ගරුඅගමැතිතුමා විසින් අනුමත කරන ලදී.30/1  යෝජනාව 2015 දී සම්මත වීම හේතුවෙන් ජනාධිපති රාජපක්ෂගේ ආණ්ඩුව කාලයේ සම්මත වූ 2014 මාර්තු 25/1  යෝජනාව මගින් හඳුන්වා දුන් ශ්‍රී ලංකාව පිළිබඳ යුද අපරාධ විමර්ශන කාර්යාලය ඇති කිරීමද සාර්ථකව අහෝසි විය.මෙහිදී සියලු පාර්ශව වෙත නැවත නැවතත් මතක් කළ යුතු කරුණක් නම් අප වගකිවයුතු ස්වෛරී  රටක් ලෙස ක්‍රියාත්මකවීමට අපොහොසත් වුවහොත් පුරවැසි ජීවිත භයානක උපද්‍රවකාරී තැනකට තල්ලු වන බවත් එතුළින් ලෝකයා වෙත රටක් ලෙස අපගේ නොහැකියාවේ පණිවිඩය ලබා දෙන බවත්ය.

අපගේ ප්‍රශ්න සම්බන්ධයෙන් රට තුළ විසඳුම් සොයා ගත ‍නොහැකි වන්නේ නම්  නිසැකවම පිටස්තරයන් පැමිණෙනු ඇත. එවිට ජාත්‍යන්තර මැදිහත්වීම් මෙන්ම විශ්වීය නීතිය පිළිබඳ සංකල්පය අදාළ කරගනු ඇත.

ජිනීවා 30/1  යෝජනාව 2015 දී සම්මත වීමෙන් පසු අතිගරු ජනාධිපතිතුමා විසින්සංහිඳියාව ලඟාකරගැනීමේ අරමුණ ඇතිව යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා සර්ව පාක්ෂික සමුළුවාර දෙකක්කැඳවන ලද අතර එකල ද එතුමා විදෙස් විනිසුරුවන්  පිළිබඳ අදහසට තම විරුද්ධත්වය ප්‍රකාශ කළේය.  එතුමා ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමේ පුළුල් පදනමක් ඇති කර  ගැනීමේ අටියෙන් සර්ව පාක්ෂික සමුළුවකට සහභාගි වූ සියලු දේශපාලන පක්ෂවල අදහස් විමසා සිටියේය. එහෙත් ඒකාබද්ධ විපක්ෂය ද ඇතුළු රට ගිනි තබමින් ව්‍යාජ චෝදනා නගමින් යන සමහර දේශපාලන පක්ෂ තම ලිඛිත නිරීක්ෂණ හෝ යෝජනා කිසිවක් සර්ව පාක්ෂික සමුළුවට ලබා නොදුනි.

ජිනීවා යෝජනාව 30/1  අඩංගු කරුණු පිළිබඳ ප්‍රවේශමෙන් අධ්‍යයනය කළහොත්  එහි සංහිඳියා න්‍යාය පත්‍රය යටතේ සංහිඳියාව, නීතියේ ආධිපත්‍යය, ආරක්ෂාව සහ ජනතාව අතර විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග රාශියක් අඩංගු වී ඇති බව පෙනේ.

මේ සියලු කරුණු 2015 ජනාධිපති ජනාධිපතිවරණයේ දී අප විසින් ශ්‍රී ලාංකික ජනතාව වෙත ලබා දුන් පොරොන්දු හා සෘජුව බැඳී පවතී. අප වෛරය ද අත්තනෝමතිකභාවය ද  අවසන් කරන බවටත්, භිෂණය නැති කරන බවටත් පොරොන්දු වූයේ ඒ හරහා ශ්‍රී ලංකාව දිගුකාලීන සංවර්ධන මාවතකට අවතීර්ණ වන බැවිනි. මෙයින් බොහෝ දේවල් දැනටත් ක්‍රියාත්මක කොට ඇති අතර අනෙක් සමහර දේ අඩු ප්‍රගතියක් අත්කර ගත්තද තවමත් සක්‍රීයව ප්‍රතිඵල අත්කර ගනිමින් තිබේ. අත්තනෝමතික අදහසක එල්බ නොගත් ඕනෑම පුරවැසියකු රට තුළ සිදුවී ඇති සැළකිය යුතු වෙනස්කම් හෘදයාංගමව පිළිගනු ඇත. ඒ අතරින් සියලු වින්දිතයන්ගේ අයිතිවාසිකම් සුරකින ආයතන පද්ධතිය මෙන්ම සියලු පුරවැසියන්ගේ අනාගත ආරක්ෂාව සහ යහපැවැත්ම ද සුරක්ෂිතතාවය ද තහවුරු කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වැදගත් වේ.  අපට ස්වයං අභිමානයෙන් ජීවත් වීමටත් රැකියා කිරීමටත්එකාවන්ව අභිවෘද්ධිය ලඟා කර ගැනීමට  අවශ්‍ය වාතාවරණය එතුළින් සකස් විය.  එසේම අද වන විට සියළුම දෙනාට සාමයෙන් ජීවත් වීමට හැකි වාතාවරණයක් රටතුළ ගොඩ නැඟී තිබේ.

ජිනීවා 30/1 යෝජනාවෙන්ඉදිරිපත් වූ ප්‍රධාන ක්‍රියාකාරකම් කිහිපයක් පහත දැක්වේ.

අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය:

 අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටවූයේ මානුෂවාදී මෙන්ම දයාවෙන් පිරි අරමුණු පෙරදැරිව අතීතයේදී මෙරට ඇතිවූ ගැටුම් සහ අර්බුදකාරී කාලයන්හි  අතුරුදහන් වූවන්ට සිදු වූ දේ කුමක්දැයි සොයා බැලීමටය. සරලව කිවහොත් අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක වන්නේ ආගම් ජාති හෝ භාෂා භේදයකින් තොරව ලංකාවේ සියලුම පවුල්වලට තම ආදරණීය ඥාතීන් අතුරුදහන් වූ හේතු සොයා බැලීමටත් ඒ තුළින් ශ්‍රී ලාංකික ජාතියේ හෘද සාක්ෂිය විමසා නැවත කිසිදා රට තුළ අතුරුදහන් වීම් ඇති නොවීමටත්ය.

ලංකාවේ අතුරුදහන් වූ සිය දහස් ගණනක් පුද්ගලයන් අතර හමුදා සොල්දාදුවන් මෙන්ම පොලිස් නිලධාරීහු දසිටිති. සිහිකල්පනාව ඇති කිසිම පුද්ගලයෙකු මෙවැනි මූලික අයිති අයිතිවාසිකම් තම සහෝදර පුරවැසියන් විසින් භුක්ති විඳීම ගැන විරුද්ධවීම  අදහාගත නොහැක.බුද්ධ වචනයේ ඇති මෛත්‍රිය යනු  මෙයම නොවේද?

හානිපූර්ණ කාර්යාලය:

 හානිපූර්ණ කාර්යාලයක් පිහිටුවීම පාර්ලිමේන්තුව විසින්ද ව්‍යවස්ථානුකූලව අනුමත කර ඇති අතර එමගින් යුද්ධයෙන් හානි වූ  සියලුම ජනතාවට තම ජීවිත නැවත ගොඩනගා ගැනීමටත් හානි පුර්ණය කර ගැනීමටත් පූර්ණ මනුෂ්‍යයෙක් ලෙසගෞරවනීය ජීවිත ගත කිරීමට ඇති අයිතිය තහවුරු කරනු ඇත.  ස්ථිර ආයතනයක් ලෙස පිහිටවනු ලබන හානිපූර්ණ කාර්යාලය අනාගතයේ දී හෝ රට තුළ අගතිගාමී තත්ත්වයක් ඇතිවුවහොත් සියලුපුරවැසියන්ට උදව් ලබා දීමේ ප්‍රතිපත්ති සකස් කරනු ඇත. පීඩාවට පත්වූ ජනතාවට තම ජීවිත නැවත ගොඩනගා ගැනීමට උදව් කිරීමෙන් රටට හෝ සමාජයට කිසිදු තර්ජනයක් පැන නොගනී.එසේම සියලු අවශ්‍යතා ඇති පුරවැසියන්ට තම ජීවිත හා ජීවනමඟස්ථාපනය කරගැනීමට ඉඩ සැලසීම රාජ්‍යයේ වගකීමක් නොවන්නේද?

සත්‍ය සහ සංහිඳියා කොමිසමක් පිහිටුවීම:

සත්‍ය සහ සංහිඳියා කොමිසමක් පිහිටුවීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩලය වෙත සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. ඒ තුළින් යුද ගැටුම් කාලයේ සිදුවීම් සම්පූර්ණයෙන් නිරාවරණය කර ගැනීමට හැකිවනු ඇත.  එසේම මතභේදයට  තුඩු දී ඇති විවාදාත්මක සිද්ධීන් පිළිබඳ ඇති රහස් මෙන්ම කටකතා නිරාවරණය කිරීම තුළින් සියලුම වින්දිතයන්ගේ ද, ජීවිත ගලවාගත් අයගේ දසත්‍ය තොරතුරු අනාවරණයය වනු ඇත.එතුළින් සෑම සියලු දෙනාටම තම අත්දැකීම් කියාපෑමට ඉඩ ලැබෙනු ඇත. එය ත්‍රිවිධ හමුදා වලටද අදාළය. සමාජයේ සියලු තරාතිරම්වලට අයත් රටේ සතර දිග්බාගයේ සිටින සහෝදර ජනතාවට විවෘතවකතා කිරීමටත්, සත්‍ය ගවේෂණයටත් ඒ තුළින් සුවපත්වීමටත් ඉඩදීම තුළින් නැවත අපේ මව්බිම තුළ එවැනි අභාග්‍යය සම්පන්න තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කළ යුතුය.

අධිකරණ යාන්ත්‍රණයක් පිහිටුවීම:

බුදුන්ගේ ඉගෙනුම්, වේදාන්ත අධ්‍යාපනය සහ මහමත්තුමාගේ, ජේසුතුමාගේආභාෂය ලත් ශ්‍රී ලාංකික ජනතාවටසත්‍ය යනු පරදේසක්කාර සංකල්පයක් බව කිව හැකිද? අපේ ජාතික නීති පද්ධතිය තුළම“මානව හිමිකම් අපහරණය හා ජාත්‍යන්තර මානව නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ විශේෂ නීති උපදේශකයෙකු සහිත අධිකරණයාන්ත්‍රණයක් පිහිටුවීමට” 30/1 යටතේයෝජනා වී තිබේ.එම යාන්ත්‍රණය පිළිබඳව ජිනීවා යෝජනාවල පැහැදිලිව  කියවෙන්නේ එය“ශ්‍රී ලාංකික අධිකරණ යාන්ත්‍රණයක් විනා ජාත්‍යන්තර යාන්ත්‍රණයක් නොවන බැවින් එහි කටයුතු විදේශ නීතිවේදීන්ගේ සහභාගිත්වයට පමණක් සීමා වනු ඇත”.සංහිඳියාව සහ  අතීත තුවාල සුවවීම් කඩාකප්පල් කරන්නන් හට මෙකී කාරණය භීෂණයත් අසහනයත් වපුරන්නට විශේෂ මාතෘකාවක් වී තිබේ. එබැවින් අවංක වුවමනාවෙන් අධිකරණ යාන්ත්‍රණය පිළිබඳ තේරුම්  ගැනීමට තැත් කරනවුන් සඳහා ඒ පිළිබඳව අවබෝධ කරදීමේ උත්සාහයක් ගත යුතුය.

අධිකරණයේ යාන්ත්‍රණය යනු ලංකාවෙන් පිටත විදේශ භූමියක පිහිටි විදේශීය ආයතනයක් නොවේ. මෙරට තුළම පිහිටුවනු ලබන ශ්‍රී ලාංකික යාන්ත්‍රණයකි. ලංකාව තුළ විදේශ නීතිවේදීන් නඩු කටයුතුවලට සම්බන්ධවීම නවමු හෝ පෙර නොඇසූ දෙයක් නොවේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂජාත්‍යන්තර ස්වාධීන පිළිගත් පුද්ගලයන්ගේ කණ්ඩායම 2005  දී පත්කරන ලදී. එහි සභාපතිත්වය දැරුවේ ඉන්දියාවේ 17 වන අග්‍රවිනිශ්චයකාර භගවතී මහතාය.තවත් අතකින් ලංකාවේ නීතිවේදීන් බොහෝ දෙනෙක් විදෙස් රටවල විනිසුරුවරුන් සහ විමර්ශකයන් ලෙස අවස්ථා ගණනාවක දී කටයුතු කර තිබේ. මෙරට සිටින නීතිපති දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන් මෙන්ම විනිසුරුවරුන්ද ෆීජී  රාජ්‍යයේ අධිකරණ කටයුතුවල නියැලී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොතැනකවත් ලංකාවේ සේවය කරන විනිසුරුවරුන් අනිවාර්යයෙන් මෙරට පුරවැසියකු විය යුතු බව දක්වා නැත. යම් කෙනෙකුට එය ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් විය යුතු බවට තර්ක කළ හැකිය.එහෙත් හුදු වචනවල එල්ලී වාද විවාද කරමින් රටේ සංහිඳියාව විනාශ කර ගන්නවාද යන්න අප හොඳින් සිතා බැලිය යුතුය.ජිනීවා යෝජනාවේ දැක්වෙන්නේ ශ්‍රී ලාංකික අධිකරණ ක්‍රමය හරහා බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා විමර්ශනය කොට තීන්දු ලබා දිය යුතු බවයි. ඊට විරුද්ධ විය හැක්කේ කාටද? පසුගිය මස ජිනීවා නුවරට ගිය මෙරට නියෝජිතවරුකියා ඇත්තේ ද එයමය. එකී මූලික එකඟතාවය මත පදනම්ව මෙවර ජිනීවා යෝජනාවට නියෝජිත පිරිසවිරුද්ධ නොවුණු බව උපකල්පනය කළ හැක. එහෙත් අපට එරෙහිව නැඟී ඇති චෝදනා විමර්ශනය නොකොට  සම්පූර්ණයෙන්ම බැහැර කළ හැකිද? නීතියෙන් ලබාදී ඇති පුරවැසියාගේ සමාන ආරක්ෂාව තහවුරු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවප්‍රකාරව අප බැඳී නොසිටිමුද?

එබැවින් නැඟී ඇති චෝදනා විමර්ශනය කොට සාධාරණත්වය ඉෂ්ඨ කිරීම අපගේ ආරක්ෂක හමුදා සාමාජිකයින් ඇතුළු සියලු පුරවැසියන් වෙනුවෙන් සිදු කළ යුතුය.  නැතහොත් අපරාධ පිළිබඳ වගකිවයුතු අය ලෙස නම් කොට ඇති පුද්ගලයන්ට පවා තම ජීවිත කාලයපුරාඑම චෝදනාවල  පීඩාව සිත තුළ දරාගෙන ජීවත්වීමට සිදු වේ.  නැඟී ඇති චෝදනා විභාග නොකර සිටියහොත් අපගේ ආරක්ෂක හමුදාසාමාජිකයන්ට විරුද්ධව ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ අවධානමක් තිබේ.එබැවින් කිසිවක් නොකර සිටීමයනු ත්‍රිවිධ හමුදාවලට සහ පොලීසියට මෙන්ම පීඩාවට පත්වූ යැයි සැලකෙන පුරවැසියන්ටද එකලෙසම යුක්තිය ඉටුකර දීමේ අයිතිය උල්ලංඝනය කිරීමක් නොවේ ද? එබැවින්අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉඳුරාම අනුකූලපියවරකි.

මානව හිමිකම් කොමිසම යනු අධිකරණයක් නොවේ. එය මියගිය අයගේ හෝ අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාලේඛනසම්බන්ධයෙන් වාද විවාද කරන මණ්ඩපයක් ද නොවේ.   ඉදිරිපත්ව ඇති සියලු කරුණු මෙන්ම නේස්බි සාමිවරයා විසින්ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන ද ශ්‍රී ලාංකික අධිකරණ ක්‍රමවේදයක් හරහාදේශීයඅධිකරණ පද්ධතියක් තුළ සලකා බැලිය යුතු වේ.

අපගේම ජාතික ක්‍රමවේදයක් තුළ අප රජය විසින් තීරණය කරනු ලබන සීමාවන්ට යටත්ව විදේශ ප්‍රවීණයන්ගේ විමර්ශන සහභාගිත්වය ලබාගැනීම නවමු හෝ විවාදාත්මක දෙයක් නොවේ. එය අතීතයේ දී ද අප කර ඇත්තෙමු.  “ඔව්” හෝ “නැත”යන අන්තගාමී සාකච්ඡාවකට සීමා නොකොට ප්‍රායෝගික කතිකාවක් තුළින් ඉතා බැරෑරුම් මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන්නේ කෙසේද පිළිබඳව රට අභ්‍යන්තරයේ සාකච්ඡා කළ යුතුය.ඒ සඳහා ලෝකයේ සිටින හොඳම සහ ස්වාධීන නීතිවේදීන්ගේ සහාය ලබාගත හැකිය.

මහින්ද රාජපක්ෂ මහතාට මෑතකදී ප්‍රතිචාර දක්වමින් මා ඇසූයේ ගෝලීය දකුණේ රටක් ලෙස අනිකුත් දියුණුවෙමින් පවතින සහෝදර රටවල ප්‍රවීණත්වය අපි ලබා නොගන්නේ මන්ද යන්නයි. තම රටෙහි සහ ලෝකය පුරා අතුරුදහන්වූවන් පිළිබඳ සාර්ථක පරීක්ෂණ පැවැත්වූ ආජන්ටීනියානු ප්‍රවීණයන්ගේ සහයෝගය අප ඉල්ලා නොසිටින්නේමන්ද? තම රටේ සිටි ඒකාධිපති පාලකයන්ගේ දූෂිත ගනුදෙනු හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ ටියුනීසියානුවන්ගේඋපකාර අප නොගෙන සිටින්නේ මන්ද? වර්ගවාදී බිහිසුණු සමය පිළිබඳ තවමත් සොයා බලමින් සිටින දකුණු අප්‍රිකානු නීතීඥයන්ට මෙරටට උදව් උපකාර කිරීමේදොරවසන්නේ ඇයි? වසර ගණනක ගැටුම්වලින් පසු සාමය සහ යුක්තිය දිනාගත් කොලොම්බියානු විශේෂඥයන්ගේ දැනුම අපට ලබාගත නොහැකිද? වධ බන්ධනවල වින්දිතයකුව සිට චිලීයේ ආරක්ෂක ඇමැතිවරියද, ජනාධිපතිනිය ද වූ වර්තමාන මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැෂලර් මහත්මියගේ  ස්වයං අත්දැකීම් අප සමඟ බෙදා  හදා ගැනීමට අප ඉල්ලා නොසිටින්නේ ඇයි?

ලොව පුරා අධිකරණවල සක්‍රීයව සේවය කළ ශ්‍රී ලාංකික විශේෂඥයෝ ගණනාවක්ම  සිටිති. උගත් පාඩම් හා සංහිදියා කොමිසමට ජනතාව දුන් සාක්ෂි ද යුක්තිය උදෙසා උපදේශක කාර්ය සාධක බළකාය මගින් රජයට ලබාදුන් නිර්දේශ දඅප සතුව තිබේ.එසේම තම මතය සහ ප්‍රවීණත්වය අප සමඟ බෙදා ගැනීමට ඉදිරිපත් වන නීති විශාරදයෝ ලොව පුරා වෙසෙති.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ ජිනීවා යෝජනා:

ජිනීවා යෝජනාවේ අඩංගු වන තවතවත් කරුණු තිබේ. බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වැළැක්වීමේ වඩා හොඳ නීති පද්ධතියක් මෙන්ම වෙනත් නූතන නීතිරීති හඳුන්වාදීම හරහාඅතීතයේ දී සිදුවූ අමිහිරි දෑ නැවත සිදු නොසිදුවීමට අපඇපකැප විය යුතු නොවේද?රට තුළ පවත්නා අනෙක් සියලූ නීතිරීති මෙන්මමෙවැනි අළුත් නීති ද අතීතයට බලපාන ඒවා නොවේ.එවැනි අනාගත අපරාධ පිටුදැකීමේ කටයුතු වලට එරෙහි වන්නෝ කවුරුන්ද? එසේම අනාගතයේ දීසිදුවීමට ඉඩ ඇති අතුරුදහන් කිරීම් වැළැක්වීමට අප කටයුතු කරද්දී ඒවාට එරෙහිව කටයුතු කරන්නෝ කවුද? එවැනි පුද්ගලයන්ට අවශ්‍යව ඇත්තේ තවදුරටත් අපරාධ කිරීමේනිදහස් වරමක් ද?  එම ඝණයට වැටෙන්නේ නැවත වතාවක් රටට සුදු වෑන් සංස්කෘතිය ගෙනැවිත් දී රට තුළ භීෂණය පතුරවන්නටමාන බලන පුද්ගලයන්ට විනා වෙන කිසිවකුටත්නො වේ.

ඉඩම් හිමිකම සහ ජනතාවට ජීවන මාර්ග සලසාදීම:

ඉඩම් අයිතිය ඒවායේ සිවිල් හිමිකරුවන්ට ලබාදීමට ජිනීවා යෝජනාවෙන් දිරි ගැන්වෙයි.මෙය බැලූ බැල්මටම අප රටට අදාළය.  මක්නිසාද ආරක්ෂිත අවශ්‍යතාවයන් නොමැති කල පසු සිවිල් ඉඩම් භාවිතයේ අවශ්‍යතාවයක් හමුදාවලට නැත.අප නීතියේ ආධිපත්‍යයෙන් පාලනය වන රටක් බැවින් කෙනෙකුගේ පවුල් පසුබිම හෝ ජීවන තත්ත්වය දියුණු කරගෙන දේපල  හිමිකර ගැනීමටත් ජීවන මාර්ගයක් පාදා ගැනීමටත් සියලු පුරවැසියන්ට සමාන අයිතීන් තිබේ. මහකොමසාරිස්වරිය සිය වාර්තාවෙන් පෙන්වාදෙන පරිදි මෙම අංශයෙන් ලංකාව සුවිශාල ප්‍රගතියක් පෙන්වා තිබේ.  කෙනෙකු තමන්ට හිමි නිවසේ පදිංචිවීමට, සිය ඉඩම දියුණු කිරීමට,වෙරළාසන්න මත්ස්‍ය කර්මාන්තයේ යෙදීමටඉඩ ලබාදීම ගැන කිසිවෙකු විරුද්ධ විය  යුතු ද? පවුලක් ගොඩනඟාගැනීමට, වෙහෙස මහන්සියෙන් වැඩ කිරීමට මෙන්ම යහපත් අනාගතයක් පිළිබඳ සිහින දැකීමේ සියුම් සතුටකාහටත් හිමිවිය යුතුය.

ආරක්ෂක හමුදාවල වෘත්තීය තත්ත්වය උසස් කිරීම:

ජිනීවා යෝජනාවලින් ආරක්ෂක අංශවල සැලකිය යුතුප්‍රතිසංස්කරණ කිරීමට ශ්‍රී ලංකා රජය දිරිමත් කර සිටින්නේ සංක්‍රාන්තික යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය පහසු වන පිණිසය.  ඒ තුළින් හමුදාවල හොඳ නම සහ වෘත්තිය තත්ත්වය වර්ධනය වනු ඇත.සිය හොඳනම සහ වෘත්තිය තත්ත්වය ඉහළ නංවා ගැනීමට හමුදාවලට ඇති අවස්ථාව ඉවත දමන්නේ කාගේ වුවමනාවටද? තමන් පමණක් ජාතිමාමකයන් බවට පුරසාරම් දොඩවන සමහරු ලොව වටා සාමසාධක හමුදාවල  සේවය කිරීමේ අනගි අවස්ථාව අපේ හමුදාවලට අහිමි නොකරන්නේද? ජිනීවා යෝජනාව හොඳින් තේරුම් ගෙන එහි අඩංගු වී ඇතික්‍රියාකාරකම් සැලකීමේදී ඒවායේ තර්කානුකූල පදනමටපහර ගසන  පුද්ගලයින් කුමන මානසිකත්වයක ජීවත් වන්නේ දැයි අසන්නට සිතේ. මක්නිසාද සැබෑ ලෙසම රටට ආදරය කරන කිසිවෙකුටත් මෙම යෝජනාවලට විරුද්ධ විය නොහැකි බැවිනි.

යුද්ධය හමාර වීමෙන් දශකයක් සහ  දකුණේ තරුණ නැගිටීම්වලින් පසු දශක තුනක් වසරක් ගත වුවද තවමත් අප ජීවත්වන්නේ සහෝදර පුරවැසියන් කෙරෙහි හදවත දයාව, කරුණාව පුරවාගන්නවා වෙනුවට ඔවුන් ගැන වෛරයෙන් සහ ක්‍රෝධයෙන් බව පෙනේ. රට නැවත  ගොඩනැගීම,ප්‍රතිසංස්කරණ සහ සංහිඳියාව අත්කරගැනීම වෙනුවට අප සිටින්නේ ඒ සියලු දේ ප්‍රතික්ෂේප කරන අගතිගාමී මානසිකත්වයක බව පෙනේ.සියලු පුද්ගලයන්ට මනුෂ්‍යයන් ලෙස උපතින් උරුම වී ඇති අභිමානයෙන් යුතු ජීවිතයක් ගතකිරීම වෙනුවට අප එකිනෙකා දෙස බලන්නට පුරුදුව ඇත්තේ භාෂාව ආගම සහ අනන්‍යතාවය වැනි පටු සීමාවන් තුළිනි.

තමන්මහා බෞද්ධයන් බව කියමින් මෙසේ ක්‍රියා කරන්නෝ සමාජයේ සුලබය. එබැවින් කිසිදු දර්ශනවාදයක් හෝ ආගමික ඉගැන්වීමක් පිළිගන්නවුන් කෲරත්වය සහ අසත්‍යපැතිරවීමනොකළ යුතුය.නමුත් දුක්ඛිත යථාර්ථය නම්රට තුළ වගවීම සහ සංහිඳියාව ළඟාකර ගැනීමේ කිසිදු පියවරකට ආශක්ත නොවන පිරිසක් සිටින බවය. මක්නිසාද ඔවුන්ට යුක්තිය අවැසි නොවේ.ඔවුන්ට අවශ්‍යව ඇත්තේජයග්‍රාහකයාගේ යුක්තිය පමණකි.ජීවත්වන්නන්ගේ සාමය අරුචිවන ඔවුනට අවැසි වන්නේ සොහොන් කොත්වල මිහිදන් කළ සාමයයි.

සහජයෙන්මිනිසුන් තුළ පවතින තිරිසන් ගතිවලට අමතා චිරස්ථීන හැඟීම් සහ භීතිය, වෛරය වපුරා බලය ඩැහැගැනීම සමහරුන්ගේ අරමුණයි.  ඔවුන් වැරදි බව මගේ හැඟිමයි.

ලාංකික ජනතාව අන් අයගේ දුක් කන්දරා තේරුම් ගන්නා බව මා විශ්වාස කරන අතර  අප සතුව උදාර අදහස් මෙන්ම යහපත් ගතිගුණ, කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව, යුක්තිය සහ අභිමානය ද නොමඳව පවතී. සිතෙහි ඇති මුළාවෙන් එපිට තිබෙන යථාර්තය සත්‍යවාදීව දැකීමට අපගේ රටවැසියන්ට හැකි බව මාතරයේ විශ්වාස කරමි.එබැවින් විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, ප්‍රජා නායකයන් හමුදා නිලධාරීන් සහ ආගමික නායකයින් එකට එක්වී සිය අදහස් බෙදා හදා ගනිමින් සංහිඳියාව පිළිබඳ සාකච්ඡා කරන මෙන්ද දේශපාලනඥයන් වන අප විසින්සහ ප්‍රවෘත්ති මාධ්‍ය හරහා එළිදැක්වෙන දේ පමණක් විශ්වාසයට නොගන්නා ලෙසද ඉල්ලා සිටිමි.

එසේම මා ඉහතින් විස්තර කළ කරුණු ඇතුළත් ක්‍රියාත්මක කිරීමට තවදුරටත් කාලය ලැබී ඇති ජිනීවා යෝජනාව දුරාවබෝධයෙන් සහ මැදහත් සිතින් කියවා තේරුම්ගන්නා ලෙස මා මේ රටේ සියලු පුරවැසියන් ගෙන් ඉල්ලා සිටිමි.එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානය හා මානව හිමිකම් කොමිසම ක්‍රියාත්මක වන ආකාරය තේරුම් ගෙන අවබෝධ කරගන්නා ලෙසත් බොරුකාරයන්ගේ හා භීතිය වපුරන්නන්ගේ කූඨ උපක්‍රමවලට නොරැවටෙන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටිමි.

2014 වන විට ජාත්‍යන්තරයෙහි සියලු දෙනා සතුරන් ලෙස සිතා ක්‍රියා කොට ජාත්‍යන්තර වේදිකාවේ මුල්ලකට කොන් වී සිටි අප රට 2015න් පසුව ලෝකයේ සුජාත රටක් ලෙස ඉදිරියට ඒමට පටන් ගත්තේය.  වගවීමසහ සංහිඳියාව පිළිබඳ න්‍යාය පත්‍රය අප රජයේ අභ්‍යන්තර පාලනයට නතු කොට ගත් අතර ජාත්‍යන්තරය එහි සාක්ෂිකරුවා විය.  වගකිවයුතු ස්වෛරී රටක් ලෙස බාහිර ලෝකයත් සමඟ උරෙනුර ගැටී ක්‍රියාකිරීමේ අභිමානවත් තත්ත්වය නැවත අපිට ලැබුණි.  අප තුළම සත්‍ය තේරුම් ගනිමින් දයාවෙන් පිරි අභිමානවත් බහුවිධත්වය අගයනජාතියක් ලෙස හිස සෘජුව ඔසවාගෙන බලාපොරොත්තු සහගත ඉදිරි ගමනකට මුල පිරීමේ ශක්තිය අප තුළ ඇති කර ගතයුත්තෙමු.

අවසානයේදී අසත්‍ය හාරැවටිලිකාර මවා පෙන්වීම් යටපත් වී ඉස්මතු වනු ඇත්තේ අපගේ මාතෘ භූමියත්, නිදහසත්, බහුවිධ අනන්‍යතාවයන් ඇති ජනතා අභිලාෂයත් අපගේ කැපවීමත්, සංහිඳියාව ළඟාකර ගැනීමේ හැකියාවත්, එකාවන්ව ජීවත්වීමට වැඩ කිරීමට  ඇති අසාමාන්‍ය ආධ්‍යාශයත්ය.  ඒ සියළු සුජාත හැඟුම් පෙරටු කොටගෙන  රටට සංවර්ධනය උදාකර නැවත කිසිදා ගැටුම්මතු නොවන තත්ත්වයක් අත්කර ගැනීමට අප විසින් අදිටන් කරගත යුත්තෙමු.

මුදල් අමාත්‍ය මංගල සමරවීර විසිනි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copyright © 2017 LNW TODAYThemetf

To Top