LNW SPY

පරිපාලන සේවයේ සයිබීරියාවට යැවු “බාර් පියා”ගේ ඩොලර් මිලියන 3 ක කප්පම් ගැනිමේ කතාව

රාජ්‍ය නිලධාරීන් ලංකාවට පැමිණෙන ආයෝජකයින්ගෙන් කප්පම් ගැනීම ගැන හොදම සාක්ෂිය ‘ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍ර‍ධානී සහ දැව සංස්ථා සභාපතිගේ කෝටි 10 අල්ලස් කථාවයි. මෙය හුදෙකලා සිදුවීමක් නොව, ඉතා සැලසුම් සහගත ක්‍රියාවලියකි. ලංකාවේ දී අත්සන් කරන ආයෝජන ගිවිසුම් ක්‍රියත්මක නොවන්නේ දේශපාලනඥයින්, නිලධාරීන් එක් වී සිදු කරන මෙවැනි කප්පම් ගැනීම් නිසාය.

කන්තලේ අතීත කථාව

කන්තලේ සීනි කර්මාන්තය නැවත ස්ථාපනය කිරීම සදහා රාජපක්ෂ රජය යටතේ 2006 දී පළමු යෝජනාව ඉදිරිපත් වන්නේය. ඒ සදහා ජාත්‍යන්තර ටෙන්ඩර් කැදවීම සිදු කරන්නේ 2010 වසරේ දී රාජපක්ෂ රජය යටතේ ය.

එහි දී සාර්ථකම ගැණුම්කරුවා බවට පත් වන පුද්ගලයා පසෙක සිටිය දී, එවකට රාජපක්ෂ රජයේ ප්‍ර‍බලම ලේකම්වරයෙකු මේ ආයෝජනය තුන්වන ස්ථානයේ සිටි ගැණුම්කරුවාට ලබාදීමට උත්සහ කළේය. මේ බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට වාර්තා වූ විට ඔහු එය නවතා දැමීය.

2015 ජනවාරි 8 යහපාලන රජය බලයට පත් වන්නේ ය. නවතා දමා තිබූ ‘කන්තලේ පුනරුත්තාපන ව්‍යාපාරයට‘ 2015 පෙබරවාරි 14 දින අනුමැතිය ලැබෙන්නේය. ඒ යහපාලන රජයේ මුල්ම ජාත්‍යන්තර ආයෝජන කිහිපයෙන් එකක් ලෙසිනි. කෙටි කලකින් මේ ව්‍යාපෘතිය සදහා ආර්ථික කටයුතු පිළිබද කැබිනට් අනුකමිටුවේ අනුමැතිය ලැබෙන අතර, නැවත මේ සදහා වන කැබිනට් අනුමැතියක් 2015 ජූනි 17 දින හිමිවේ. ඒ අනුව කන්තලේ සීනි ව්‍යාපෘතිය සදහා වන ගිවිසුම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ එම්.ජී. ෂුගර් සමාගම අතර අත්සන් තබනු ලබයි. ඒ සදහා, පූර්ව කොන්දේසියක් වන්නේ ඇ.ඩෝ. මිලියන 10 ක් මුල්‍ය තැම්පතුවක් ලබාදීම යි. එම මුදල මෙම සමාගම 2015 අගෝස්තු 08 දින ලංකාවට රැගෙන විත්, අදාළ සුදුසුකම් සපුරනු ලබයි.

නමුත්, ඉඩම් අමාත්‍යාංශය මේ කටයුත්ත දීර්ඝ ලෙස ප්‍ර‍මාද කරන්නේය. ආයෝජකයාට සිය කටයුත්ත සිදු කිරීමට බාධා පමුණුවන්නේය. නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍ර‍මාදයන් තමන්ට වැලැක්විය හැකි බවත්, තමා නැතිව කිසිවක් කළ නොහැකි බවත්, විටින් විට ආයෝජකයාට දන්වන්නේ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය අයි.කේ. මහානාම ය.

එදා ඉඩම් අමාත්‍යාවරයා වූයේ කන්තලේ ප්‍රදේශයට අයත්වන ත්‍රිකුණාමල දේශපාලනය කළ එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන මහතාට ය. ඔහුගේ සැබෑ උවමනාව වූයේ කෙසේ හෝ කන්තලේ දියුණු කොට සිය දේශපාලන බලය තහවුරු කර ගැනීමය. ප්‍ර‍මාදය ප්‍ර‍ශ්නයක් වන විට එහි චෝදනාව එල්ල වූයේ අමාත්‍යවරයාටය. මේ අතර, අමාත්‍යවරයා මිය යන්නේය. අමාත්‍යාංශ ලේකම්වරයා කරළියට ‘තමා නැතිව කිසිවක් කළ නොහැකි බවත් තමාට සැලකිය යුතු බවත්‘ දිගින් දිගටම ආයෝජකයා පවසයි.

මේ වන විට ආයෝජකයා ඩොලර් මිලියන 10 ක් ලංකා ආණ්ඩුවේ ආයෝජනය කර අවසන් ය. ජෝන් අමරතුංග නව අමත්‍යවරයාට වගකීම් ගොඩක් මැද පැවරෙන අමාත්‍යාංශය ගැන එච්චර තැකීමක් නොවීය. අමාත්‍යාංශ ලේකම් මහානාම තමන්ට කැමති පරිදි අමාත්‍යාංශය පාලනය කරන සමය යි. ලේකම් මහානාම අමුතු කළාවක් ගොතන්නේය. මරණ මංචකයේ දී, ගුණවර්ධන මහතා තමාට ‘අහවල් අහවල් දේ කළ යුතු යැයි‘ පැවසු බව ඔහු ආයෝජකයාට පවසයි. එය ඉටු කිරීමට නම්, මුදල් අවශ්‍යය.

මහානාම ආයෝජකයාගෙන් ඉල්ලා සිටි අල්ලස ඇමරිකානු ඩොලර් මිලියන 3 කි!

මේ සිද්ධිය පිළිබද තොරතුරු මා වෙත (කීර්ති තෙන්නකෝන්) ආරංචි වී කෙටි කාලයකින් ශ්‍රී ලංකා මහ බැංකුව හෝ වෙනත් වාර්තාවක් මගින් යහපාලන රජය යටතේ විදේශ ආයෝජන බිදවැටී ඇති ආකාරය පිළිබද අනාවරණය විය. මේ කරුණ, දුෂණ විරෝධී පෙරමුණ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය විසින් නැවත නැවත අවධාරණය කරන ලදී. එවකට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වූයේ මා මිතුරු ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ය. ජයසූරිය මහතා මේ ගැටළුවට පිළිතුරු දුන්නේය. තමන් ආයෝජනය ගිවිසුම් අත්සන් කරන නමුත්, ඉඩම් ලේකම් මහානාම, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ එම ව්‍යාපෘති ඉදිරියට ගෙන යාමට බාධා කරන හැටි ඔහු සවිස්තරව ජනමධ්‍ය හමුවේ ප්‍ර‍කාශ කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ හා අමාත්‍ය මලික් සමරවික්‍ර‍ම කළේ උපුල් ජයසූරිය මහතා ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමට මාර්ගය සැකසුනි. උපුල් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලබා දුන්නේය.

2017 මැයි මාසයේ මුල්ම දිනක ආචාර්ය මහානාම තමන්ගෙන් ඇමරිකානු ඩොලර් මිලියන 3 ක් ඉල්ලා සිටි බව මේ ආයෝජකයා අල්ලස් කොමිසමට ලබා දුන් කටඋත්තරයේ දැක්වේ. වත්තල, ‘ස්ටීම් බෝට්‘ බෝට්ටු සවාරි සිදු කරන ස්ථානයේ අවන්හලේ දී, මුහුණට මුහුණ සිදුවන හමුවක දී, මෙම මුදල් ඉල්ලා ඇති බව ආයෝජකයාගේ ප්‍ර‍කාශයේ සදහන් වේ.

2017 සැප්තෑම්බර් මාසයේ 5 හෝ 6 දිනෙක බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හි දී දැව සංස්ථා සභාපති දිසානායක මුල්ම වරට ආයෝජකයා සමග අල්ලස ගැන කථා කොට ඇත.

2017 ඔක්තෝබර් සිට 2018 පෙබරවාරි දක්වා අවස්ථා 4 ක දී ආයෝජකයා දැව සංස්ථාවට කැදවා අල්ලස ලබා නොදෙන්නේ නම්, ව්‍යාපෘතිය කරගෙන යාමට ඉඩ නොදෙන බව දිසානායක-මහානාම යුවල දක්වා ඇත.

උක් වගාව ඇරඹීම

2017 අප්‍රේල් කන්තලේ උක් වගාවට ඉඩම් ලබා දෙන අතර 2017 සැප්තැම්බර් 17 බිම් සැකසීම ආරම්භවිය. මහානාම, ආයෝජකයාට සිය කප්පම නොලැබෙන්නේ නම්, ව්‍යාපෘතිය නවතා දමන බවටත්, ඉඩම් ආපසු ලබා ගන්නා බවටත් තර්ජනය කරන්නේ මේ අතරය. ඒ වන විට සමාගම එංගලන්ත හා දකුණු අප්‍රිකානු ආයෝජකයින් ලංකාවට ගෙන්වා ගෙන අවසන් ය.

මේ තර්ජනය නිසා 2018 පෙබරවාරි 22 දින ආයෝජකයා අල්ලස් කොමිසමට මෙම සිදුවීම පැමිණිලි කර ඇත. එතැන් පටන් කථාව මෙම විමර්ශන කාර්යයට අගතියක් විය හැකි බැවින් හෙළි නොකරමි. නමුත්, අප්‍රේල් 27 අම්පාර සිට කොළඹට පැමිණීමේ සිට අල්ලස් ලබා ගැනීමට සැලසුම් කළ ස්ථාන, යුනියන් පෙදෙස ස්ථානයක මුදල් හුවමාරුවට සුදානම් වූ ආකාරය (දිසානායකට යුනියන් පෙදෙස මහල් නිවසක් ඇත), වෙසක් නිවාඩුවෙන් පසුව සදුදා උදැසන මුදල් ලබාදීමට සුදානම් වීම, අවසානයේ මැයි 3 උදේ 11.30 ට මුදල් ලබා ගැනීමේ උත්සාහය සහ එය සවස 4.30 ට වෙනස් කිරීම දක්වා ඇත්තේ දිගු කථාවකි.

තමාගේ මුදල් අවශ්‍යතාවට ගැන මහානාම අයෝජකයාට පවසා ඇත්තේ ද, අපූරු කථාවකි. තමන් තවත් ටික දිනකින් විශ්‍රාම යන බවත්, එවිට තමාට කිසිදු ආදායමක් නොමැති බවත්, තමාට කැලණිය විශ්වවිද්‍යාලය අසල ඉඩමක් ඇති බවත් එහි ගොඩනැගිල්ලක් ඉදි කොට එමගින් ආදායමක් ලබාගැනීමට තමන්ට අවශ්‍ය බවත් ඒ කථාවයි!

ජනාධිපති කාර්ය මණ්ඩල ආචාර්ය අයි.කේ. මහානාම, දැව සංස්ථා සභාපති පී.දිසානායක යන අය අල්ලස් මුදල් ලබාගෙන, මුදල් ගණන් කරන අතරතුර, විඩියේ කැමරා මැද, අත්අඩංගුවට පත් වීමෙන් අවසන් වන්නේ මෙම සිදුවීමයි.

ආයෝජකයින්ගෙන් කප්පම් ලබා ගැනීම

ආයෝජන මණ්ඩලය ගිවිසුම් අත්සන්කර, නීතිපති දෙපාර්තමේන්තුව ව්‍යපෘති ගිවිසුම් අනුමත කොට, එම ගිවිසුම් අනුමත කළ පසුව ආයෝජකයින් රටට මුදල් ගෙනවිත් ව්‍යෘපෘති අරඹයි. ගිවිසුමට අනුව, රජයෙන් ලැබෙන ඉඩම් හා ගරා වැටුණු ගොඩනැගිලි, හා භාණ්ඩ වෙනුවෙන් ස්ථාපනය වන සමාගමේ 51%ක කොටස් අයිතියක් රජයට හිමිවේ.

මහානාම සිය කප්පම ඇ.ඩො. මිලියන 3 නොලැබූ විට කරන්නේ තමන් විසින් සකසන කැබිනට් පත්‍රිකාව අඩුපාඩුවක් ඇතිව සකස් කිරීමය. එමගින් ඔහු පවසන්නේ කන්තලේ තිබූ පරණ බඩු කිසිවක් නව සමාගමට ලබා දින නොහැකි බවයි. තමන්ගේ කප්පම නොලැබෙන්නේ නම්, මේ ව්‍යාපෘතිය කළ නොහැකි තැනට දේශපාලනඥයින්ට ඔහු කරුණු දක්වයි. මහානාම පවසන්නේ මේ ව්‍යාපෘතිය කළ නොහැකි බවත් සමාගම පරණ යකඩ ටික විකුණා ව්‍යාපෘතිය අතහැර දමන බවත් ය. ඒ සදහා ඔහු කෝටි 34 ක පරණ යකඩ ඇති බව ප්‍ර‍සිද්ධ කරයි. ඒ සදහා තක්සේකරුවක් සිදු කරයි. තක්සේරුවට ටෙන්ඩර් කැදවයි. (මේ ටෙන්ඩරය හා දෙවන අදියරේ ගාන පහත දැමූ කප්පම අතර ඇත්තේ සෘජු සම්බන්ධයකි. මහානාම ලේකම්වරයා ජනාධිපතිවරයාට, අගමැතිවරයා ව්‍යාජ කරුණු ඉදිරිපත් කොට ඇත.

Shareholders agreement හි 7.9 පරිච්චේදය මෙසේ ය.

The investor/company agrees to take possession of land and premises from the GOSL described in Article 7.1.1 (other than that described in Article 7.1.1 (c) with all the infrastructure and machinery, on an as is basis and no guarantee is given that any infrastructure, machinery, buildings or implements subsisting on the land or premises are usable or suitable for any purpose. The company may do as it may deem appropriate with the infrastructure, machinery, buildings or implements at it’s own cost or use them as it may deem suitable.

ඒ අනුව, ලංකා රජය වෙත ලබා දෙන 51% ක කොටස වෙනුවෙන් කන්තලේ සීනි සමාගමේ ඇති ගොඩනැගිලි (බහුතරයක් අබලි හා අතහැර දමා ඇත), දිරිගිය යන්ත්‍ර‍, දිරාගිය වාහන, ආදිය මේ සමාගම සතු විය යුතුය. නමුත්, ආචාර්ය මහානාම මේ ද්‍ර‍ව්‍ය නිදහස් කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 3 ක අල්ලසක් ඉල්ලයි. එය ලබා ගත නොහැකි විට කෝටි 54 ක පගාවක් ඉල්ලයි. එය නොලැබෙන විට කෝටි 45 ක් ඉල්ලයි. එයත් හිමි නොවන විට කෝටි 10 ක් හෝ ලබා ගැනීම4ට උත්සහ දරයි.

ඒ සදහා ඔහු ඉදිරිපත් කරනු ලබන තර්කය මේ සමාගම උක් වගාව සිදු නොකර යකඩ ටික විකුණා දැමීමට උත්සහ දරන බවට ප්‍ර‍චාරයක් ගෙන යාමය. ඒ අතර, තම තර්කයට ශක්තිය සපයන්නට අමාත්‍යාංශයේ නිලධාරීන් යොදා ගනිමින් අබලි යකඩ සදහා තක්සේරුවක් ලබා ගනී. කිසිදු නිත්‍යානුකුල පදනමක් නැතත්, අබලි යකඩ සදහා ටෙන්ඩර් කැදවයි. ඇමතිවරු මැදිහත් නොවීම නිසා ද, මේ දුක් ගැනවිල්ල අසන්නට කිසිවෙකු නැති නිසා ද, ආයෝජකයා අමාරුවේ වැටේ. එපමණක් නොවේ. මේ ආරවුල බේරන්නට පත් කරන කමිටුව වැඩ කරන්නේ ද, අමාත්‍යාංශ ලේකම්ට අවශ්‍ය ලෙසම ය. අවසානයේ ‘පරණ යකඩ ටෙන්ඩර් තොරතුරු සගවා එකම පුද්ගලයාට පළමු හා දෙවන ටෙන්ඩරය ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබා දෙයි. සැබවින්ම, කන්තලේ සීනි ව්‍යාපෘතිය ‘පරණ යකඩ ගණුදෙණුවක්‘ බවට පත් කරන්නේ හිටපු ඉඩම් ලේකම් ආචාර්ය මහානාම ය.

පරණ යකඩවල වටිනාකම කෝටි 50 නම්, එයට කෝටි 60 ක පගාවක් ගන්නට බැරිය. ඇ.ඩො. 3 ක පගාවක් ගන්නට ද බැරිය. අනික, කෝටි 50 ක යකඩ ගන්නට ඇ.ඩො. මිලියන 10 ක් අත්තිකාරමක් ගෙවන පිස්සු ආයෝජකයින් ද ලෝකයේ විරලය.

දැන් නාටකයේ හොදම තැනට පත්වන්නේය. පරණ යකඩ සදහා ඉහළම ඉල්ලුම කෝටි 54 කි. දෙවැන්න, කෝටි 46 කි. තෙවැන්න, කෝටි 35 කි. පළමු හා දෙවන ටෙන්ඩර දෙකම එකම හිමිකරුගේය.

එම්.ජී. ෂුගර් ඉඩම් ලේකම් ගේ මේ අත්තනෝමතික තීරණයට එරෙහිව සිංගප්පුරුවේ ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩලයට යයි. තම ගොදුර වැරදී, ඉඩම් ලේකම් විශ්‍රාම යයි. නමුත්, කුමන හෝ ක්‍ර‍මයකට ඔහු ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍ර‍ධානී තනතුරට පත් වෙයි. ඔහු ආයෝජකයාට කියන්නේ කන්තලේ සීනි සමාගම අයත් වන දයා ගමගේ අමාත්‍යවරයාට පවසා මේ ගැටලුව විසදා දියහැකි බවයි. එපමණක් ද නොව, ජාත්‍යන්තර බේරුම්කරණයට තමා මැදිහත් වී එය ද විසදා දෙන බවයි. රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පි.දිසානායක හරහා පණිවුඩ යවන ආචාර්ය මහානාම කෙසේ හෝ තම කුට්ටිය කඩා ගැනීමට උත්සහ දරයි.

‘බාර් පියා‘ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතර ප්‍ර‍කට චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ ලේකම්වරයා වන මෙම නිළධාරියා එදා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අල්ලස් ලබා ගැනීමට සමත් වූ, මේ වැඩයට කප්පිත්තෙකි. අම්පාර ප්‍රාදේශීය ලේකම්වරයා වූ ඔහු, අත්තනගල්ලේ දී එජාප මන්ත්‍රී පෝල් පෙරේරා ගේ දේශපාලන පළිගැනීමට ලක්ව ‘පරිපාලන සේවයේ සයිබීරියාවට‘ යවයි. ප්‍ර‍ධාන ඇමති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගේ ලේකම් බවට පත්වන්නට එය සුදුසුකමක් වන්නේය. අල්ලස් කොමිසම ඔහුගේ දේපල පිළිබද විමර්ශනයක් සිදු කරන්නේ නම් ඔවුන්ට ග්‍රෙගරි පාරේ මහල් නිවාස දෙකක්, යුනියන් පෙදෙස මහල් නිවාසය, ගම්පහ (මොන්ටිකාලෝ) බාර් 3, මාතර තෙමහල් ආපන ශාලාව (තැබෑරුම), හා බත්තරමුල්ලේ නිවාස 2 කට ගොඩ වන්නට සිදුවුවහොත් එම නිලධාරීන් පුදුම නොවිය යුතුය.

ආචාර්ය මහානාම සහ සභාපති දිසානායක නොදැන සිටි කරුණ නම් මේ වන විට අන්ත අසරණ වී සිටි ආයෝජකයා මේ පිළිබද අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට පැමිණිලි කොට තිබු බවයි. එපමණක් ද නොව, අල්ලස් කොමිෂන් සභාවේ අති දක්ෂ විමර්ශන නිලධාරීන් පිරිසක් කාලයක සිට මේ සිද්ධිය ගැන ඇස ගසා සිටි බවයි.

ලංකාවට පැමිණෙන ආයෝජකයින්ට සිදුවන ගැහැට කොපමණද යන්න මැනවින් තහවුරු වන සිදුවීමක් ලෙස කන්නතේ අල්ලස් සිද්ධිය අප හදුණාගත යුතුය. සිද්ධිය සම්බන්ධයෙන් ආයෝජන විෂය භාර අමාත්‍ය මලික් සමරවික්‍ර‍ම ගේ ප්‍ර‍කාශය ගැන මම පුදුම නොවෙමි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ලංකාවේ රාජ්‍ය සේවකයෙකු ලෙස වැඩිම වැටුපක් (රු. මිලියන 1 යි) ලබන පුද්ගලයා සිටින ස්ථානය යි. එහි සභාපතිවරයා වැඩට එන්නේ සතිකයට පැය දෙක -තුනකට පමණී. ආයෝජකයින්ට සේවා ලබා ගැනීමට දේශපාලනඥයින් පසුපස යා යුතුය. අනෙක් අතට, අයෝජකයින් මෙවැනි පීඩාවට පත් වන තෙක් රජය, අමාත්‍යාංශ, ආයෝජන මණ්ඩලය කුමක් කළේ දැයි විමසයි. මේ ආයෝජකයා මා සමග පැවසුවේ මාගේ කථාව අහන්නට හෝ ඉදිරිපත් වුණේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පමණයි කියාය.

මේ ඉන්දීය ව්‍යාපාරිකයා 1994 සිට ලංකාවේ ව්‍යාපාර කටයුතු සිදු කළ පුද්ගලයෙකි. ලංකාවේ බොහෝ තැන්වලට සබදතා ඇති අයෙකි. ඔහු මුහුණ දුන් තත්වය වෙනත් ආයෝජකයෙකුට හිමි වූයේ නම්, ඔහු ආයෝජන හැර දමා ගොස් බොහෝ කල් ය.

අනෙක් අතට, ඇති තරම් දුෂණ චෝදනා තිබූ ආචාර්ය මහානාම වැනි නිලධාරියෙකු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍ර‍ධානී වූයේ කෙසේ ද? යන්න වෙනම විමසා බැලිය යුතු කරුණකි. කැෆේ සංවිධානය, දුෂණ විරෝධී පෙරමුණ හා ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය යන මා සම්බන්ධ වූ ආයතන ලංකාවේ ඉහළම රාජ්‍ය නිලධාරීන් 7 කට චෝදනා එල්ල කර ඇත. ගල් අගුරු වංචාව, විදුලි මාෆියාව, බැදුම්කර වංචාව, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, ආයෝජන ප්‍ර‍වර්ධන, එයින් කිහිපයකි. ඔවුන් කිසිවෙකු ගැන අදටත් විමර්ශනයක් හෝ නැත. ආචාර්ය මහානාම වැනි පුද්ගලයින් විශ්‍රාම ගිය ද, රාජ්‍ය සේවයේ ඉහළම තැන් ඔවුන් වෙනුවෙන් වෙන් වී ඇත. දේශපාලන නායකත්වයේ අසමත්බව කදිමට පෙනෙන්නේ එබැවිනි.

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

හිටපු උපදේශක/දුෂණ විරෝධී පෙරමුණ

Rajith Keerthi Tennakoon
Executive Director/CaFFE
Executive Director/CHR-Sri Lanka
100/19 A, Welikadawatta Road,
Rajagiriya,Sri Lanka.

Copyright © 2017 LNW TODAYThemetf

To Top