විශේෂාංග

රටට අවශ්‍ය දේශපාලනීකරණය නොවූ යහපාලනයකි

රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හවුල් ආණ්ඩුව මොනතරම් අසාර්ථක වූවාද කිවහොත් යහපාලනය යන වචනය පවා අද රටේ බොහෝ දෙනකුට වහ කදුරු වී ඇත. යහපාලන ආණ්ඩුව ලෙස ජනතාව විසින් වත්මන් ආණ්ඩුව හැඳින් වෙන්නේ කිසිසේත්ම එහි නියම අර්ථයෙන් නොව එහි විරුද්ධ අර්ථයෙන් යැයි කිවහොත් බොහෝ දෙනකු මා සමඟ එකඟ වනු ඇත. නමුත් සංකල්පයක් වශයෙන් ‘යහපාලනය’ හෙවත් ඉංග්‍රීසියෙන් කිවහොත් “Good governance” නරක දෙයක් නොවේ. නමුත් වරද නම් ලංකාවේ දේශපාලනයට මේ වචනය හඳුන්වා දුන් අය එය නිවැරැදිව විග්‍රහ නොකිරීමය. සාමාන්‍ය ඡන්දදායකයාට අනුව යහපාලනය යනු හොරු ඇල්ලීමය. ඔවුන්ට ඒ අදහස ඔළුවට දැම්මේ එකල විපක්ෂයයි. යහපාලනයට ඡන්දය දුන්නේ හොරු අල්ලන්නට බවත් තවම ඒ කාර්යය නිමා නැති බවත් හවුල් ආණ්ඩුවේ දේශපාලනඥයන් කියනු අපට තවමත් අසන්නට ලැබේ. මෙය සම්පූර්ණ වැරැදි විග්‍රහයකි.

2015 ජනාධිපතිවරණයේදී යපාලනයට ඡන්දය දුන් ජනතාව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදිය හැකිය. පළමු කොටස හුදෙක්ම තම දේශපාලන මතය පොදු ආපෙක්ෂකයා වටා රොක් වූ හංස සන්ධානයේ විවිධ පක්ෂවලට ඇති පක්ෂපාතීත්වයන් මත ඡන්දය දුන් අයයි. දෙවන කොටස හුදෙක්ම දේශපාලන වේදිකාවල, සමාජජාලාවල, පාරතොටේ සාකච්ඡා වූ ඕපදූප අනුව පසුගිය ආණ්ඩුව කෙරෙහි ඇතිකර ගත් වෛරයකින් හෝ අප්‍රසාදයකින් පොදු අපේක්ෂකයාට ඡන්දය දුන් අයයි.

යහපාලනය යනු හොරු ඇල්ලීමයයි සිතන්නේ බොහෝ දුරට මේ කණ්ඩායමයි. තුන්වැනි කොටස යහපාලනය යන සංකල්පය තරමක් දුරට හෝ නිවැරැදිව වටහාගෙන පවතින පාලන ක්‍රමයේ සැබෑ ධනාත්මක වෙනසක් බලාගෙන පොදු අපේක්ෂකයාට ඡන්දය දුන් අයයි. මේ කණ්ඩායමට බොහෝ දුරට අයත් වූයේ තමුන්ගේම කියා දේශපාලන මතයක් නැති, පාවෙන ඡන්ද ගොඩට අයිති වෙන, වෘත්තීයමය සුදුසුකමක්, ව්‍යාපාරික හැකියාවක්, උගත්කමක් ඇති පිරිසකි. ඔවුන්ගෙන් බහුතරය මධ්‍යම පාන්තිකයන් හා ඉහළ මධ්‍යම පාන්තිකයන් යැයි කිවහොත් නිවැරැදිය.

මේ කියන තුන්වැනි කොටස බලාපොරොත්තු වූයේ අද යුරෝපයේ බොහෝ රටවල දක්නට ලැබෙන ආකාරයේ දේශපාලනයකි. යහපාලනය යන්න තුළින් ඔවුන් මූලිකවම බලාපොරොත්තු වූ තේමාවන් කිහිපයක් අපට හඳුනාගත හැකිය.

පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය

නිසි ක්‍රමවේදයන්ට අනුව දිවෙන විධිමත් කාර්යක්ෂම රාජ්‍ය පරිපාලනයක්.

නීතිගරුක, විනය ගරුක, සදාචාරාත්මක සමාජයක්.

සැමට අවස්ථා සහ නිසි ගෞරවය හිමි වීම.

මානව සම්පත් හා ආර්ථික සංවර්ධනය.

පරිසර හිතකාමී බව.

නිදහස.

මේ කිසිදු අපේක්ෂාවක අපට වරදක් දැකිය හැකිද? නැත.

එසේ නම් වැරදුණේ කොතැනද?

වරද ඇත්තේ යහපාලනය යන සංකල්පයේ නොව යහපාලනය රටට ගෙන ඒමට තෝරාගත් කණ්ඩායමේය.

2015 ජනවාරි වෙනසත් සමඟ බලයට පැමිණි 2015 අගෝස්තු මැතිවරණයෙන් තවදුරටත් ස්ථාවර වූ රනිල් වික්‍රමසිංහ-මෛත්‍රිපාල සිරිසේන ආණ්ඩුවට ඉහත කී එක කරුණක් වත් වැදගත් වූ බවක් නොපෙනේ.

ඔවුන්ට අවශ්‍ය වූයේ කුමන උපක්‍රමයකින් හෝ බලය ලබාගැනීමත් ඉන්පසු කවර හෝ උපක්‍රමයකින් බලයේ රැඳී සිටීමත් පමණි. යහපාලනය යනු ඔවුන් මැතිවරණ සමයේ ජනතාවගේ ඇස් වැසීමට යොදාගත් කඩතුරාවක් පමණක් විය.

පසුගිය වසර 3 පුරා ජනතාව අත්විඳි පාලන ක්‍රමය ගොඩනැඟීමට දායක වූ ප්‍රධාන බලවේගය වූයේ අගමැතිවරයාය. ජනාධිපතිවරයා කළේ විටින් විට මාධ්‍ය හරහා වීරයාගේ චරිතය රඟපෑම පමණි. ජනාධිපතිවරයාගේ තීරණ ක්‍රියාත්මක නොකිරීම ප්‍රමාද කිරීම හරහා ආණ්ඩුව ජනාධිපතිවරයාට අපහාස කළ අවස්ථා කිහිපයක්ම ජනතාවට මතකය. ඒ අනුව මෑතක් වනතුරු අගමැතිවරයා ප්‍රමුඛ කල්ලියක් විසින් පියවරෙන් පියවර රටට කරමින් සිටි විනාශය නැවැත්වීමට ජනාධිපතිවරයාගෙන් වූ දායකත්වය වචනවලට සීමා වී තිබිණි. රජයේ නිසි බලධරයා අගමැතිම විය.

අද දුම්මල ගසා වත් අගමැතිවරයා එළවාගත නොහැකි තත්ත්වයක් රටට උදාවී ඇත්තේ ජනතාවගෙන් බහුතරය එදා දැන හෝ නොදැන ගත් ඒ වැරැදි තීන්දුව නිසාය.

වාසනාවකට මෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසු තමන් විසින් දිගින් දිගටම අගමැතිවරයා ආරක්ෂා කිරීමේ අනර්ථකාරී ප්‍රතිඵල ජනාධිපතිවරයාට වැටහෙන්නට පටන්ගෙන ඇති බවක් පෙනී යයි. වත්මන් ආණ්ඩුව පවතින ආකාරයෙන්ම තව වසර දෙකක් පවත්වාගෙන ගියහොත් 2020 වන විට අනිවාර්යයෙන්ම ආණ්ඩු වෙනසක් ජනතාව විසින් සිදුකරන බව පළපුරුදු දේශපාලනඥයකු වන ජනාධිපති සිරිසේන මහතාට වැටහීම පුදුමයක් නොවේ. බලය සඳහා එකට සිටියත් හදවතින් දේශීයත්වය අගය කරන ජනාධිපතිවරයා අගමැතිවරයාගේ පරගැති මානසිකත්වයට අකැමැති බව නිසැකය. තමා තවදුරටත් අගමැතිවරයාට අවශ්‍ය ආකාරයට හැසිරීමට සූදානම් නැති බව අඟවන පණිවුඩ කිහිපයක්ම පසුගිය දිනවල ජනාධිපතිවරයා විසින් ගත් යම් තීරණවල ගැබ්ව තිබේ. අප්‍රේල් 4 වැනිදාට නියම වී ඇති අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයේදී ජනාධිපතිවරයාගේ කණ්ඩායම හැසිරෙන ආකාරය අනුව විශ්වාසභංගයේ ප්‍රතිඵලය කුමක් වුවත් රට තුළ තමා සම්බන්ධව ගොඩනැඟෙමින් තිබූ අප්‍රසාදය තරමක් දුරට හෝ සමනය කර ගැනීමටත් ඒ අනුව ඉදිරියේ වෙනස් දේශපාලන ගමනකට අඩිතාලම දමා ගැනීමටත් ජනාධිපතිවරයාට මහඟු අවස්ථාවක් උදාවී ඇත.

2020 වසර මැද වනවිට මීළඟ ජනාධිපතිවරණයත්, පාර්ලිමේන්තු මැතිවරණයත් දෙකම අවසන් වී තිබෙන්නට බොහෝ දුරට ඉඩ ඇත. 2019 වසරේ දෙසැම්බර් 9දාට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතුමය. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කරන සාධක රැසක් ඇති අතර පාර්ලිමේන්තුවේ 2/3ක අනුමැතියෙන් වෙනසක් නොවුවහොත් ව්‍යවස්ථානුකූලව 2020 මාර්තු මසට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීමක් බලාපොරොත්තු විය නොහැකිය.

දේශපාලන කරළියේ කුමක් වුවත් රට ඉදිරියට ගෙන යෑම සඳහා අවශ්‍ය කුමන ආකාරයක නායකත්වයක්ද, කුමන ආකාර පාලන තන්ත්‍රයක්ද යන්න පිළිබඳව බුද්ධිමත් සංවාදයක දැඩි අවශ්‍යතාවක් අදට පැන නැඟී ඇත. මහින්ද රාජපක්ෂ රෙජිමය ඉවත්කොට පත්කරගත් රනිල් වික්‍රමසිංහ කල්ලිය අසාර්ථක වූ පමණින් ජනතාව යළිත් 2014ට පෙර බලයේ සිටි කණ්ඩායම එම ආකාරයෙන්ම පිළිගැනීමට සූදානම්ද? එසේත් නැත්නම් රනිල්, මෛත්‍රි හවුල් ආණ්ඩුව විසින් පොරොන්දු වූ නමුත් ඉටු නොකළ යහපාලන රාජ්‍ය තන්ත්‍රය සැබැවින්ම රටට උදා කළ හැකි අලුත් නායකත්වයක් සොයාගන්නවාද යන ගැටලුව ඉදිරියේදී මතුවනු නොඅනුමානය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ 30 අවුරුදු යුද්ධයක් අවසන් කළ, ඇසට පෙනුණා පමණක් නොව සියලු සමාජ ආර්ථික දර්ශකවලින්ද තහවුරු වූ පැහැදිලි සංවර්ධනයක් මේ රටේ ඇති කළ බවට විවාදයක් නැත. එහෙත් මෙම ලිපියේ මුලින් සඳහන් කළ යහපාලන මූලධර්ම දෘෂ්ටි කෝණයෙන් බැලූ කල පසුගිය ආණ්ඩුවේ අඩුපාඩු තිබුණු බවද අප පිළිගත යුතුය. එසේ නොවන්නට ජනතාවගෙන් බහුතරයක් 2015දී පසුගිය පාලන තන්ත්‍රය ප්‍රතික්ෂේප කරන්නට හේතුවක් නොතිබිණි. එසේ නම් රටට ඉදිරියේදී අවශ්‍ය වන්නේ මෙතෙක් පැවැති සෑම ආණ්ඩුවකම හොඳ නරක තර්කානුකූලව විමසා බලා රටට වඩාත් ගැළපෙන පාලන ක්‍රමයක් හඳුන්වාදිය හැකි නායකත්වයකි. ඒ නායකත්වය රටේ ප්‍රධාන පක්ෂ ඕනෑම එකක හෝ කිහිපයක සහායෙන් බිහිවීමේ අවස්ථාව ඇත.

නමුත් එය පවතින දේශපාලන පක්ෂ කෙතරම් දුරට ස්වයං විවේචනයට සූදානම්ද යන්න මත බෝහෝ දුරට ර¼දා පවතිනු ඇත. එසේ නොකර සැබෑ ධනාත්මක වෙනසක් මේ රටේ පාලන තන්ත්‍රය තුළ සිදු කිරීම අපහසුය. කවුරු බලයට ආවත් පමණ ඉක්මවා ගිය පවුල් පාලනය, දූෂණය, ඒකාධිපතිත්වය යනාදිය ජනතාව දීර්ඝ කාලීනව නොඉවසන බව පැහැදිලිය. සැබෑ යහපාලන මූලධර්මවලට ඇති කැමැත්ත සමාජය තුළ ඉදිරියටත් ඒ ලෙසින්ම පවතිනු ඇත්තේ ඒ නිසාය.

අනාගතයේ බිහිවන පාලන තන්ත්‍රයක් තුළ මුලින් කී යහපාලන මූලධර්මවලට අමතරව ජාතික අභිමානය, දේශීය සංස්කෘතීන්ට ගරු කිරීම, දේශීයත්වයට ප්‍රමුඛතාව වැනි ගුණාංගද සම්මිශ්‍රණය වූවා නම් එය රටට වඩාත් ගැළපෙනු ඇත.

ඉදිරියේදී එළැඹෙන මැතිවරණවලදී ද වෙනදා මෙන් තමුන් ඉදිරියේ ඇති අවස්ථාවලින් එකක් තෝරාගන්නට ජනතාවට සිදුවන නිසා කුමන හෝ ආණ්ඩුවක් බලයට පත්වනු ඇත. නමුත් මැතිවරණයක් එනතුරු බලා නොසිට රටට අවශ්‍ය කුමක්දැයි යන සංවාදය දැන් සිටම ආරම්භ විය යුතුය. ඒ සඳහා මේ රටේ විද්වතුන්, වෘත්තිකයන්, ව්‍යවසායකයන්, කලාකරුවන්, මාධ්‍යවේදීන්, සාහිත්‍යධරයන්, දේශපාලනඥයන් යන සියලු දෙනාටම වගකීමක් ඇත. ඇමෙරිකාවේ සුප්‍රකට ජනාධිපතිවරයකු වූ ෆ්‍රැන්ක්ලින් රූස්වෙල්ට් මෙසේ කියා ඇත. “දේශපාලනයේ අහඹු සිදුවීම් නැත. සියල්ල සිදුවන්නේ කාගේ හෝ සැලසුමකට අනුවයි.”

ධනාත්මක වෙනසක් රටට අවශ්‍යයයි සිතන්නන් නිවෙසට වී ප්‍රවෘත්ති බැලීමෙන් රට වෙනස් නොවනු ඇත.

ආචාර්ය නාලක ගොඩහේවා

Copyright © 2017 LNW TODAYThemetf

To Top