Conspiracy

රනිල් ට එරෙහි විශ්වාසභංගය ජාත්‍යන්තර ඔත්තුකරුවන් විසින් පොහොට්ටුවට ඇටවූ කොඩිවිනයක් ද ?

 Published on: Mar 30, 2018 @ 14:23- ලිපිය ආරම්භයේදීම 2015 අගෝස්තු මස 17 දින පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලයත් (ඇමිණුම – 1) සහ 2018 පෙබරවාරි 10 දින පවත්වන ලද පළාත් පාලන ආයතන ප්‍රතිඵලයත් (ඇමිණුම – 2) දක්වන ලද්දේ  එකී ප්‍රතිඵල අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගය පිළිබද කතිකාවත ආරම්භ කිරීම පහසු වන හෙයිනි.

ඒ සමගම පහත කාරණා කෙරෙහිද අවධානය යොමු කිරීම සුදුසුය.

2015 අගෝස්තු 17 දැන පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිත සදුදා දිනට පෙර රජයේ වැඩ කරන දිනය වූ සිකුරාදා දින එක්සත් ජනතා නිදහස් සන්ධයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරුන් ධූරයෙන් ඉවත් කිරීමට කොළඹ දිසා අධිකරණයේ නඩු පැවරීම.

 

  1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 ව්‍යවස්ථාවේ දැක්වෙන ජාතික ආණ්ඩුව සම්බන්ධ අර්ථනිරූපණය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නොව කථානායකවරයා වෙතින් ලබා ගැනීම.

 

  1. දෝෂාභියෝගයක් මාර්ගයෙන් නොව අනීතික මාර්ගයෙන් අගවිනිරුවරයා පැය 24ක් තුළ ඉවත් කිරීම.

 

  1. දින 100 පොරොන්දු මල්ල මිරිගුවක් කිරීම.

 

  1. මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධ ක්‍රියාදාමය සහ ප්‍රධාන මොළකරු රටෙන් පිටකිරීම.

ඉහත කාරණා සමග මේ ලිපියට අදාල මාතෘකාව වන “රනිල් ට එරෙහි විශ්වාසභංගය සිංහලයන් අතර සිටින ජාත්‍යන්තර ඔත්තුකරුවන් විසින් පොහොට්ටුවට ඇටවූ කොඩිවිනයක් ද? ” යන්න සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.

වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංයුතිය ඉහත ඇමිණුම – 1 හි දක්වා ඇත. එය එසේ වුවත් වර්තමාන මෛත්‍රී-රනිල් යහපාලන සංහිදියා ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ සිටින සියලුම පක්ෂවල ලේකම්වරු විසින් සහාය දක්වනු ලබයි.(එය ජාතික ආණ්ඩුවකි) නාමිකව යහපාලන සංහිදියා ආණ්ඩුවට එරෙහිවන බව පැවසුවද තීරණාත්මක අවස්ථාවලදී න්‍යායාත්මකව සහ නීත්‍යානුකූලව එකී ආණ්ඩුව ආණ්ඩුව ආරක්ෂා කිරීමට එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ඉලංකෙයි තමිල් අරසු කච්චි, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ආදී පක්ෂවල නායකත්වය කටයුතු කරයි. මන්ද මෛත්‍රී-රනිල් යහපාලන සංහිදියා ආණ්ඩුව ආරක්ෂා කර නොගතහොත් සිදුවන එකම දේ වන්නේ ජනතාවගේ කැමැත්තට පටහැනිව පවත්වාගෙන යන ජාතික ආණ්ඩුව නම් ව්‍යුහය බිදවැටී ආණ්ඩුවම කඩා වැටීමට ලක්වී එකී දේශපාලන යාන්ත්‍රණයම අර්බුදයට යාමත් 2015 ලබූ ජනාධිපතිවරණ ජය පවත්වාගෙන යා නොහැකි වීමයි.

2015 ජනවාරි පැවති ජනාධිපතිවරණයේ දී පෙරකී දේශපාලන පක්ෂ සියල්ලම එක්ව පොදු අපේක්ෂකයෙක් හංසයා ලකුණෙන් තරග කරවීමේ දේශපාලන උපක්‍රමය හේතුවෙන් වර්තමානයේ පවතින මෛත්‍රී-රනිල් යහපාලන සංහිදියා ආණ්ඩුව නිර්මාණය වී ඇති බවත් ඒ හේතුවෙන් වෙනත් දේශපාලන යාන්ත්‍රණයක් බලවත් වීම නීතිමය ලෙස මැඩපැවැත්විය හැකි බවත් ඔවුහු මනාව දනිති.

එකී දේශපාලන පක්ෂ බෙදී වෙනවී යන සෑම අවස්ථාවකදීම ප්‍රතිවාදීන් ජයගන්නා බවත් 2018 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය එය සනාථ කළ බවත් දේශපාලනයේ මුලකුරු කියවන අයෙකුටත් වටහා ගැනීම අසීරු නොවේ.

මෙහිදී 1988 පැවති ජනාධිපතිවරණ ප්‍රතිඵලය අධ්‍යයනය කිරීමද වැදගත් වෙයි.

01 එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ රණසිංහ ප්‍රේමදාස මහතා ඡන්ද 2569199 එනම් 50.%

02 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ඡන්ද 2289860 එනම් 44.95%

03 ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් ඉදිරිපත් වූ ඔස්වින් අබේගුණසේකර මහතා ඡන්ද 235719 එනම් 4.63ක් ලබා ගන්නා ලදී.

1988 ජනාධිපතිවරණයේදී 2වැනි මනාපය ගැනීමට සිදුවනු ඇතැයි බොහෝ දෙනෙකු විශ්වාසය තබා තිබුණද එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ රණසිංහ ප්‍රේමදාස මහතා ඡන්ද 2569199 එනම් 50.43% ලබා ගෙන තිබූ හෙයින් එය අවශ්‍ය නොවූයේ සියයට දශම 43ක් වැඩි වීමෙනි.

හංසයා අපේක්ෂකයා 2020 දී දිනවීමේ මෙහෙයුම සහ රනිල් ට එරෙහි විශ්වාස භංගය…

වර්ෂ 2009 මැයි මස 19 වැනි දින බෙදුම්වාදී සන්නද්ධ අරගලය නන්දිකඩාල් කළපුවේදී යුධමය වශයෙන් අවසන් කිරීමත් සමග 2010 පැවති ජනාධිපතිවරණයේ සිට හංසයා ලකුණ යටතේ පොදු අපේක්ෂක භූමිකාවක් ඉදිරිපත් වන්නට විය. ජනාධිපතිවරණය පමණක් ඉලක්කකර ගනිමින් හංසයා පක්ෂය ගොඩනැගුණ බව පෙනෙන්නට තිබුණ අතර 2010 සහ 2015 ජනාධිපතිවරණ සදහා හංසයා ලකුණින් පොදු අපේක්ෂකයන් ඉදිරිපත් කරනු ලැබීය. 2010 ජනාධිපතිවරණයට හංසයා ලකුණින් ඉදිරිපත් කළ පොදු අපේක්ෂකයාට ජයගත නොහැකි වුවත්, 2015 ජනවාරි පැවති ජනාධිපතිවරණයට හංසයා ලකුණින් ඉදිරිපත් කළ පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කළේය.

එකී 2015 ජනවාරි පැවති ජනාධිපතිවරණයට හංසයා ලකුණින් ඉදිරිපත් කළ පොදු අපේක්ෂකයා ජනාධිපති වීමත් සමගම එකී හංසයා සන්ධානයේ අරමුණු සහ ඉලක්ක නීතිමය සහ ජනතාමය වශයෙන් බලවත් කිරීමට එකී පොදු අපේක්ෂකයා කටයුතු කළේය. එයට නිවැරදිම නිදසුන වන්නේ 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ආසන්න දිනයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා කොළඹ දිසා අධිකරණයේ නඩු පැවරීමකින් වෙනස් කර ගැනීමට අවශ්‍ය නෛතික බලය අතැතිව මැතිවරණයෙන් පරාජයට පත් වූ මැතිවරණ අපේක්ෂකයින් රොත්තන් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරු කර ගැනීමය. එමෙන්ම එවකටත් පැවති නීතියට අනුව පාර්ලිමේන්තු සභාවේ ද අනුමැතිය යටතේ ධූරය දරමින් සිටි අගවිනිසුරුවරයා විධායක ජනාධිපතිවරයාගේ එක් පෑන් පහරකින් නිවසට විසිකර දැමුවේ ය.

ඉන් නොනැවතුන ජයග්‍රාහී හංසයා පොදු අපේක්ෂකයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජාතික ආණ්ඩුව අර්ථ දක්වා ඇති 46 ව්‍යවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොව කථානායකවරයා මගින් අර්ථනිරූපණය කරගනිමින් ඊනියා ජාතික ආණ්ඩුවක් නිර්මාණය කරගෙන අති විශාල ඇමති මණ්ඩලයක් පත් කර ගත්තේ ය.

එවන් වාතාවරණයක් යටතේ පැවති 2018 පළාත් පාලන මැතිවරණයේදී අති බහුතර ජනතාවක් එනම් 44.65% ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එනම් පොහොට්ටුවට ඡන්දය ලබා දී මේ නිර්මාණය කරගෙන සිටින අති විශාල ඇමති මණ්ඩලයකින් යුත් ඊනියා ජාතික ආණ්ඩුවට සහ එහි ප්‍රතිපත්තිවලට සිය විරෝධය ප්‍රකාශය කරන ලදී.

රුණු කාරණා එසේ වුවත් ඒකාබද්ධ විපක්ෂය යැයි කියා ගන්නා මෛත්‍රී-රනිල් යහපාලන සංහිදියා ආණ්ඩුවට එරෙහිව යැයි කියන කණ්ඩායම එකී ජනවරමෙන් ලැබූ පිම්බීම වරදවා වටහා ගෙන අගමැතිවරයාට ඉවත්වන ලෙසත්, නව පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන ලෙසත් ප්‍රකාශ කරන්නට විය. “මුහුද හත්ගව්වක් තියා අමුඩ ගැසීම” ගැන අප අසා ඇතත් පළාත් පාලන මැතිවරණ පරාජයකින් පසු අගමැතිවරයා ඉවත් වීමක් ලංකාව වැනි රටකින් කිසිසේත් බලාපොරොත්තු විය නොහැකි බව එකී දේශපාලන නායකයන් දැන නො සිටින්නට ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.1 ව්‍යවස්ථාවට පටහැනිව යමින් ජනසම්මතයට පටහැනිව 30ට වැඩියෙන් පවත්වාගෙන යන ඇමති මණ්ඩලය 30 දක්වා අඩු කර ගැනීම වැනි ප්‍රායෝගික ක්‍රියාමාර්ගවලට අවතීර්ණ නොවූ ඒකාබද්ධ විපක්ෂය “ගලෙන් පට්ටයක් ගැනීම” වැනි අගමැතිවරයා වෙනස් කර ගැනීමේ දේශපාලන උපායමාර්ගයක් වෙත යොමු විය. පළාත් පාලන මැතිවරණ ජනවරමෙන් පසු ජාතික ආණ්ඩුව බිද වට්ටා අති විශාල ඇමති මණ්ඩලය නඩත්තු කිරීමට වැය කරන අධික මුදල් කන්දරවා අඩු කරනවා වෙනුවට සහ ජනතා සුභවාදී පියවරයන් ගන්නවා වෙනුවට කරගත නොහැකි දේශපාලන උපායමාර්ගයක් වන අගමැතිවරයා වෙනස් කිරීම තෝරා ගත්තේ ය.

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල සමග ඊනියා ජාතික ආණ්ඩුව තීරණාත්මක ලෙස පසු බැස තිබීමත් සමග අගමැති ධුරය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයෙක් පත් කරන්නට යන බව ඒකාබද්ධ විපක්ෂ නායකත්වය විසින් ජනතාවට විශ්වාසය ඇති කළ අතර ඒ සදහා ඊනියා ජාතික ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු මනා සහායක් ද දුන්නේ ය. 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජිතයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කරමින් ජනවරම නොතකා සිටි පොහොට්ටුවට ඡන්දය දුන් අපේක්ෂකයන්ගේ ජනවරම  නැවත වරක් ඒකාබද්ධ විපක්ෂ නායකත්වය විසින් නොතකා සිටියේ ආකාරයෙනි.

මේ සියලු ක්‍රියාන්විතයන් සිදු වන්නේ 2020 ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වන හංසයා පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් බවට වටහා ගැනීම අසීරු නොවේ. 2020 දී ඉදිරිපත්වන හංසයා පොදු අපේක්ෂකයා ජය ගැනීමට නම් පොහොට්ටුවට ලැබෙන්නට ඇති දකුණේ ඡන්ද කඩා ගැනීමේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය , එක්සත් ජනතා නිදහස් සන්ධානය, ඉලංකෙයි තමිල් අරසු කච්චි, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදු වේ. ඒ සදහා හොදම අවස්ථාව 2018 පළාත් පාලන මැතිවරණයෙන් පසු අගමැති ධුරය වෙනස් කරන මුවාවෙන්  යහපාලන සංහිදියා ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමත් ජනතා විරෝධය වෙනතකට හැරවීම සදහා රනිල් අගමැතිධුරයෙන් නෙරපීමේ මතයක් ආණ්ඩු විරෝධීන් අතර ඇති කිරීමයි.

2018 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල සමග අගමැති ධුරය රනිල්ගෙන් ඉවත්  කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් නිදහස් සන්ධානයේ සහ ඒකාබද්ධ විපක්ෂයත් එක්ව මේ සිදුකරන ක්‍රීඩාව අවසන් වන්නේ 2020 දී තුන් කොන් ජනාධිපතිවරණ සටනක් අවුලුවා දකුණේ ඡන්ද බෙදීමට සළස්වා අවසානයේ 2වන මනාපය ගැනීමෙන් හංසයා ජනාධිපති අපේක්ෂකයා ජයගැන්වීමෙනි.

2020 ජනාධිපතිවරණයේ තුන්කොන් ජනාධිපතිවරණ සටනක දී කිසිත් අපේක්ෂකයෙක් 50%වඩා ඡන්ද ලබා නොගන්නා බව වටහා ගැනීම අසිරු නොවේ.

අගමැතිට එරෙහි ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාසභංගය ජයගනීවිද?

2018 අප්‍රේල් 04 දින පැවැත්වීමට නියමිත අගමැතිට එරෙහි ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාසභංගය ජයගතහොත් 2015 ජනාධිපතිවරණයෙන් ඇති කරන්නට බලාපොරොත්තු වූ “සිස්ටම් චේන්ජ්” එක කර ගැනීමට නොහැකිවන බවත් එකී ජනාධිපතිවරණ ජයග්‍රහණය වැඩකට නැති තත්ත්වටත් පත්වන අතර 2020 දී පවත්වන ජනාධිපතිවරණයේදී හංසයා අපේක්ෂකයාගේ නියත පරාජයත් සනිටුහන් වේ.

එය වූ කලී වත්මන් ජාතික ආණ්ඩුවේ සහ 2015 ජනාධිපතිවරණය ජයගත් යහපාලන නියමුවන්ගේ අපේක්ෂාව නොවේ. ඒ අනුවම සිදුවිය යුත්තේ අගමැතිට එරෙහි ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාසභංගය ඉතා සුළු ඡන්ද සංඛ්‍යාවකින් හෝ පරාජය කිරීමට හැකි මට්ටමට ඡන්ද බෙදී යාමට සැළැස්වීමයි. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුත්, ඉලංකෙයි තමිල් අරසු කච්චි හී මන්ත්‍රීවරුද, එක්සත් ජාතික පක්ෂයේ අතිශය බහුතර මන්ත්‍රීවරුද මෙකී රනිල්ට එරෙහි විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය භාවිතාකර පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් (වැඩි ඡන්ද 12-15 අතර)          විශ්වාසභංගය පරාජය වීම අප්‍රේල් 04 දින පාර්ලිමේන්තුවේදී බලාගත හැකි වේ.

ඒ අනුව පැහැදිලි වනු ඇත්තේ පළාත් පාලන ජනවරමෙන් අගමැතිවරයා වෙනස් කිරීමේ වැරදි පීල්ලට ඒකාබද්ධ විපක්ෂය සීරුමාරු කරවීමෙන් 2020 ජනාධිපතිවරණයේ දී 2වන මනාපයට පාර කපාගත් යහපාලන සංහිදියා ඊනියා ජාතික ආණ්ඩුව අද දවසේත් රටේ දේශපාලන ගමන් මග තීරණය කිරීමට සමත් වී ඇති බවයි. එය මෛත්‍රී-රනිල් යහපාලන සංහිදියා ආණ්ඩුවේ දක්ෂතාවය නොව ඒකාබද්ධ විපක්ෂයේ නො හැකියාවයි.

රනිල් ට එරෙහි විශ්වාසභංගය ජාත්‍යන්තර ඔත්තුකරුවන් විසින් පොහොට්ටුවට ඇටවූ කොඩිවිනයක් බව තීරණය කිරීමට අප්‍රේල් 04 දින දක්වා සිටිය යුතු නැත්තේ එහෙයිනි.

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන

B.Sc(Col),PGDC(Col)

E mail: arunaunawatuna@gmail.com

2018.03.30

Copyright © 2017 LNW TODAYThemetf

To Top