විශේෂාංග

සිස්ටම් චේන්ජ් කාරයන් වැඩි වශයෙන් ම රාජ්‍ය නොවන ගැත්තන්

සිස්ටම් චේන්ජ්, වෙනස් කිරීම ගැන නැවතත් කතා වෙනවා. මේ කතාව කූඹියෝ නාට්‍යයෙ තුමිඳු ජනප්‍රිය ම නළුවා හැටියට සම්මාන ලැබීමත් එසේ සම්මාන ලැබීමෙන් පසු කරන ලද කතාවත් නිසා. මේ සිස්ටම් වෙනස් කිරීම් හිස් කතා පමණයි. මේවායින් සිද්ධ වෙන්නෙ සමාජයෙ කියන විධියට ඒ ඒ අය පොරවල් වීම පමණයි. සිස්ටම් එක නැත්නම් පද්ධතිය හරි ක්‍රමය හරි ඔය කියන විධියට වෙනස් වෙන්නෙ නැහැ. ඊනියා ජාතිකවාදීන්ටත් තුමිඳු අඳුරගන්න බැරි වෙලා. මා නම් ඔහු කැලණිය විශ්වවිද්‍යාලයෙ මා හිටපු කාලෙ ඉඳන් දන්නවා. ඉතාමත් කෙටියෙන් කියනවා නම් ඔහු ජාතිකවාදියකු නම් නො වෙයි.

පසුගිය දවස්වල මා නිව්ස්වීක් සඟරාවෙ විශ්වවිද්‍යාල ගැන පළ වූ ලිපියක් කියෙව්වා. ඒ ලිපිය එක්සත් රාජ්‍යවල විශ්වවිද්‍යාල ගැනයි. අපේ රටේ විශ්වවිද්‍යාල නමින් ඇත්තේ අනුකාරක හිස් ආයතන කිහිපයක් පමණයි. බටහිර රටවල විශ්වවිද්‍යාලවල ඇති මතවාදය වාම කේන්ද්‍රීය ලෙස හැඳින්වෙනවා. මා වාම කේන්ද්‍රීය කියන්නෙ ඉංගිරිසියෙන් ලෙෆ්ට් ඔෆ් සෙන්ටර් කියන්නටයි. ඒ ලිපියෙ සඳහන් වුණෙ අද එක්සත් රාජ්‍යවල විශ්වවිද්‍යාලවලට වෙනස්වන තත්වය සමග හැඩ ගැහෙන්න බැරිය කියන කාරණය. ට්‍රම්ප් විශ්වවිද්‍යාල තුට්ටුවකට මායිම් නොකරන බවත් සඳහන් වුණා. ට්‍රම්ප් පවතින තත්වයට විරුද්ධයි. කෙටියෙන් කියනවා නම් ඔහු ජත්‍යන්තර සුපිරිව්‍යුහයෙහි සංස්ථාපනයට විරුද්ධයි. ඒ අර්ථයෙන් ඔහු ජාතිකවාදියෙක්.

ට්‍රම්ප්ගෙ රටේත් බටහිර තවත් රටවලත් පවත්නා ක්‍රමය වෙනස් වේගෙන යනවා. එහෙත් ඒ රටවල කවුරුන්වත් සිස්ටම් චේන්ජ් ගැන කතා කරන්නේ නැහැ. තියෙන ක්‍රමය වෙනස් වෙන්නෙ එක්කො අභ්‍යන්තර ව ක්‍රමක්‍රමයෙන, එහෙත් ඇතැම් විට විවික්ත ව (ඩිස්ක්‍රීට්). එහෙමත් නැත්නම් බාහිරින්. බටහිර වෙනස් වුණෙ මූලික වශයෙන් ම අභ්‍යන්තර ව. එයට පෙරදිගින් ලැබුණු දැනුමත් බලපෑවා. එහෙත් එය බාහිර ව කෙරුණු වෙනසක් නො වෙයි. පෙරදිග දැනුම නිර්මාණය (සංස්කරණය) කළ අය ගිහින් බටහිර ක්‍රමය වෙනස් කෙළේ නැහැ. කොපර්නිකස් වෙනස් වුණෙ පෙරදිගින් ලැබුණු දැනුම නිසා. එහෙත් ඉතාලිය වෙනස් කළෙ කොපර්නිකස් ලබාදුන් දැනුම පදනම් කරගත් අය. එය පාප් වහන්සේට විරුද්ධව කැරැල්ලක් හැටියටයි මතු වුණෙ.

මේ ක්‍රමය එහෙමත් නැත්නම් පද්ධතිය වෙනස් කිරීම මෙවැනි ලිපියකින් විස්තර කරන්න බැහැ. එහෙත් මෙවැනි ලිපියක් වුණත් කියවන්න බොහෝ දෙනකුට වෙලාවක් නැහැ. බටහිර වැඩවසම් ක්‍රමයෙන් (මෙරට වැඩවසම් ක්‍රමයක් නොතිබූ බව අවධාරණය කළ යුතුයි. අද ඊයේ මුහුණු පොතේ ශිල්ප දක්වන අය මේ සම්බන්ධයෙන් මා ලියා ඇති ලිපි කියවා නැහැ. මට ඔවුන් ගැන ඇත්තේ අනුකම්පාවක් පමණයි) ඊනියා නූතනත්වයට එක රැයකින් වෙනස් වුණා නොවෙයි. එයට සියවස් ගණනාවක් ගියා. ක්‍රම ක්‍රමයෙන් සිදු වූ මේ වෙනසට එංගලන්තයේ කාර්මික විප්ලවය, ඇමරිකන් නිදහස් සටන සහ ප්‍රංශ විප්ලවය අර මා කලින් කී විවික්ත සිද්ධි ලෙස බලපෑවා. මෙයින් මුල් විප්ලව දෙක බටහිර ලෝකය වැඩවසම් ක්‍රමයෙන් මුදවා ගැනීමට උදවු කළා. ප්‍රංශ විප්ලවය ඒ සිද්ධි හා අදහස් ඉදිරියට ගලා යෑම නැවැත්තුවා. ප්‍රංශ විප්ලවයෙන් සිදු වුණෙ බටහිර රටවල් එකතැන පල් කිරීමක්. එය එසේ පල් කර බටහිර ජාත්‍යන්තර සුපිරිව්‍යහයේ සංස්ථාපනය බිහි කළා. යුරෝපයේ ඇති වූ ජාතික රාජ්‍යය (බටහීිර ඇසින්) මරා දමනු ලැබුයේ ප්‍රංශ විප්ලවයෙන්. එය ඊනියා ජාත්‍යන්තරයක් ගොඩ නැගුවා.

ප්‍රංශ විප්ලවය මාක්ස් දුටුවේ වැඩවසම් ක්‍රමයෙන් මිදීමේ විප්ලවයේ පරිපුර්ණ අවස්ථාව ලෙස. ඔහු එය ඊනියා සිස්ටම් චේන්ජ් ලෙස දැක්කා. ඔහු සමාජය විකාශය වීමේ හිතළුව ගොතද්දී ප්‍රංශ විප්ලවය බලපෑවා. ඔහු සිස්ටම් චේන්ජ් අදහස ඊනියා විද්‍යාත්මක දෙයක් බවට කතාවක් ගෙතුවා. ඔහුත් ඊනියා ජාත්‍යන්තරවාදියෙක්. අදත් ඊනියා වාමාංශිකයන් ක්‍රමය වෙනස් කිරීමට කතා කරනවා. ඒ මාක්ස්ගේ බලපෑමෙන්. එහෙත් මේ ක්‍රමය ආරක්‍ෂා කරන්නේ වාම කේන්ද්‍රිකයන්. අද වාම කේන්ද්‍රිකයන් ප්‍රංශ විප්ලවයේ හිර වෙලා. පහළෙස් වැනි සියවසේ ඇරඹි නූතනත්වයේ කූටප්‍රාප්තිය ප්‍රංශ විප්ලවයයි. වාම කේන්ද්‍රිකයන් ක්‍රමය වෙනස් කිරීමට කතා කරන්නේ ප්‍රංශ විප්ලවයේ හිර වී සිටිමින්. මාක්ස් ගෙතූ හිතළුව ඔවුන් එහි දී යොදා ගන්නවා. එහෙත් මාක්ස්වාදය ගබ්සා වෙලා හුඟක් කල්. මාක්ස්වාදය ගබ්සා වුණෙ ම ප්‍රංශ වප්ලවයට ඉදිරියට යෑමට නොහැකි බැවින්.

අපට බටහිර ක්‍රමය ආවේ බාහිර ව. අප එය සකස් කර ගත්තේ නැහැ. දැන් තියෙන යුදෙව් ක්‍රිස්තියානි ක්‍රමය පෘතුගීසීන් ලන්දේසීන් හා විශේසයෙන් ම ඉංගිරිසින් අපට බාහිර ව ලබා දුන් දෙයක්. අප ඉන්නේ ඒ ක්‍රමයෙහි. අප ඒ ක්‍රමය වෙනස් කිරීමට කතා කරන්නේ ක්‍රමයෙහි ම ඉඳිමින්. එය බොරු කතාවක් පමණයි. එහෙත් ඒ කතාවෙන් වීරයන් වන්න පුළුවන්. අපට මොන තරම් තාක්‍ෂණය තිබුණත් බටහිර අදහස් එන්න දශක කිහිපයක් යනවා. බටහිර විශ්වවිද්‍යාල ප්‍රංශ විප්ලවයේ හිර වෙලා. අපේ විශ්වවිද්‍යාල අදහස් අතින් පැරීසියේ කාණුවක හිරවෙලා. පරිපාලනය අතින් ලන්ඩනයේ කාණුවක හිරවෙලා. බටහිර රටවල් විශ්වවිද්‍යාලවලින් ටිකෙන් ටික මිදෙනවා. අප තවමත් කාණුවල හිර වුණු විශ්වවිද්‍යාලවලට ගරු කරනවා.

සිස්ටම් චේන්ජ් කාරයන් වැඩි වශයෙන් ම රාජ්‍ය නොවන ගැත්තන්. රාජ්‍ය නොවන ආයතනවලින් කෙරෙන්නේ බටහිර මතවාද මෙරට ප්‍රචලිත කිරීමයි. සිස්ටම් චේන්ජ් යන්නත් බටහිර මතවාදයක්. එය නොකෙරෙන මතවාදයක්. එය කිය කියා ඉන්න නම් හොඳයි. එමගින් පොරත්වයත් පවත්වාගෙන යන්න පුළුවන්. සිස්ටම් චේන්ජ් යන්න ක්‍රමය වෙනස් කිරීමට නොව ප්‍රංශ විප්ලවයේ අදහස් රැක ගැනීමටත් ගබ්සා වුණු මාක්ස්වාදයේ මළකුණ රඳවා ගැනීමටත් යොදා ගන්නා ව්‍යාජයක් පමණයි. සිස්ටම් චේන්ජ් කතාවලින් වෙනස්වන ක්‍රමයක් නැහැ.

අප උත්සාහ කරන්නේ බටහිරයන් සිතන ක්‍රමයෙන් කැඩීමටයි. එයට සෑහෙන කලක් ගත වේවි. මේ ක්‍රමය පවත්වාගෙන යෑම සිංහල බෞද්ධ සංස්කෘතියට අහිතකරයි. එහෙත් ඒ කියා අපට උඩින් සිස්ටම් චේන්ජ් කතා කරන්න අවශ්‍ය නැහැ. අපි හීන් සීරුවේ නැවතත් බෞද්ධයන් වෙමු. අද බුද්ධාගමත් නූතනත්වයට යටවෙලා. එහෙමත් නැත්නම් ප්‍රංශ විප්ලවයට යටවෙලා.

~~කාලය ~~

Copyright © 2017 LNW TODAYThemetf

To Top