විශේෂාංග

ගෝඨාභයගේ අනාගතය

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ තේරී ඇති බව පැහැදිලි ය. අපි ඔහුට සුබ පතමු. ගෝඨාභයගේ ජනාධිපති අපේක්‍ෂකත්වයට තේරීම අන් කාහටත් වඩා දිලිත් ජයවීරගේ ජයග්‍රහණයක්. ගෝඨාභය වටා අද ඉතා ඉහළ ම පෙළේ බුද්ධිමතුන්, ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන්, ජනමාධ්‍යවේදීන්, ජනමාධ්‍ය ප්‍රධානීන් පෙළ ගැසී තියෙනවා. ඔහු ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ජාතික ව්‍යාපාරයේ නියුතු වූවන්ට හඳුන්වාදීමේ සභාවක් පසුගිය දා කොල්ලුපිටියේ හෝටලයක පැවැත්වුණා. එහි දී මා මතු කළ අදහස් කිහිපයක් තවමත් වලංගුයි. එහෙත් මා බුද්ධිමතකුවත් ව්‍යාපාරිකයකුවත්, ජනමාධ්‍යයට සම්බන්ධ අයකුවත් නො වෙයි. මා බුද්ධියෙනුත් ධනයෙනුත් ජනප්‍රසාදයෙනුත් දුගියෙක්. මහින්දවාදීන්ට අනුව මා සිරිසේනවාදියෙක්, කොන්ත්‍රාත්කාරයෙක්, මුග්ධයෙක්, බකපණ්ඩිතයෙක්, ගේම්කාරයෙක්, විහිළුකරඬෙක්, නිකරුණේ මිනිසුනට බැණ වදින්නෙක්, මගේ කතාව තමන් මෙන් හුදී ජන පහන් සංවේගය සඳහා නොලියා ජනතාවට ඒත්තු ගන්වන්න උත්සාහ කරන්නෙක්, සහ තවත් එවැනි අයෙක්. ඒ බුද්ධිමතුන්ට අනුව මා කළ වරද කිහිපයක් තියෙනවා. ප්‍රධාන ම එක රනිල් ඉවත් කිරීමට මෛත්‍රිපාලට ශක්තිය ලබා දෙන ලෙස කළ ඉල්ලීම.

ගෝඨාභය තෝරා ගැනීම සමග මහින්ද පිළේ පැවති තරගයක් අවසන් වුණා. ඒ බැසිල් ගෝඨාභය තරගයයයි. ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂක කී පමණින් කුලප්පු වී තප්පු ලෑ බැසිල්වාදීන්ට අද ගෝඨාභයට ආධාර කිරීම හැර වෙන කරන්න දෙයක් ඉතිරි වී නැහැ. මහින්ද ගෝඨාභයට කැමැත්ත දී ඇති බව පැහැදිලියි. එහෙත් තවමත් රනිල් අගමැති පුටුවේ. ගෝඨාභය ඉදිරිපත් වන්නේ ජනාධිපති ධුරයට නම් ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඒ ගැන කතා කිරීමට පළමු කිව යුතු කරුණු එකක් දෙකක් තියෙනවා.

පලමුවෙන් ම රනිල් ඉවත් කර අගමැති ධුරයට පත් කිරීමට ඒකාබද්ධ විපක්‍ෂයෙන් (පොදුජන පෙරමුණෙන්) අපේක්‍ෂකයකු සොයා ගැනීමට බැහැ. මහින්ද කොහොමත් ඊනියා පිං අගමැති කම භාර ගැනීමට අකමැත්තක් දක්වා තිබුණා. දැන් ගෝඨාභයවත් වෙනත් අයකුවත් ඒ සඳහා ඉදිරිපත් කරවන්න බැහැ. මෛත්‍රිපාල කැමති වුවත් අද ගෝඨාභය කැමති නැහැ. මා මේ කරුණු කියන්නේ හිතළු ලෙස නො වෙයි. ඒ යෝජනා අසාර්ථක වී ඇති බව දන්නා අයකු ලෙසයි. ගෝඨාභයගේ පිළේ අය මෛත්‍රිපාල දෙන කිසිවක් භාර ගැනීමට කැමති නැහැ. ඒ සඳහා ඔවුන් විවිධ හේතු කියනවා. දැනට ගෝඨාභයට වැඩ පෙන්වීමට තරම් ව්‍යුහයක් නැති වීම, ආණ්ඩුවේ මඩ තවරා ගෙන තම කීර්ති නාමයට කැළලක් ඇති කර ගැනීම, එසේ කැළලක් ඇති කර ගැනීම ජනාධිපතිවරණයට බාධාවක් වීම ඉන් ප්‍රධානයි. ඇතැමුන් තවමත් ඉන්නේ මෛත්‍රිපාල රනිල් “රංගනය” නරඹමින්.

මෙරට දේශපාලනය තීරණය වන්නේ තෙල්දෙණියේ හෝ අම්පාරේ හෝ නො වෙයි. එය තීරණය වන්නේ ලන්ඩනයේ හා දිල්ලියේ. කාට හරි කියන්න පුළුවන් අම්පාර හා තෙල්දෙණිය නිර්මාණය කෙළේ ලන්ඩනයෙන් හා දිල්ලියෙන් කියා. ඒ මෙරට තියුණු බුද්ධිමය සම්ප්‍රදායක් නොමැති වීම නිසා නිර්මාණය කෙරෙන ඉතා ළාමක සංයුක්ත කතන්දර පමණයි. මා දැක්කා නොයෙකුත් බුද්ධිමතුන් කියා තිබෙනවා තෙල්දෙණියේ සිද්ධි ඇති කෙළේ අතුරුදහන් වූවන් සෙවීමේ පනත සම්මත කර ගැනීමට ය කියා. තෙල්දෙණියේ සිද්ධිය අහම්බයක්. එහෙත් එහි යට තියෙන්නේ මෙරට ඇති සංස්කෘතික ආක්‍රමණයක්. එය ඊනියා ඉස්ලාම් භීතියක් ලෙස හැඳින්වීමට වැඩියෙන් ම උත්සාහ කරන්නේ ක්‍රිස්තියානි පසුබීමක් සහිත ව ජාතිකවාදීන් වී ඇතැයි කියන්නන්. මා කලින් ලිපිවල සඳහන් කර ඇති අන්දමට සිංහල බෞද්ධයනට ඉස්ලාම් භීතිකාවක් නැහැ. එහෙත් ඔවුන් ඉවෙන් දන්නවා සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව විවිධ වෙනත් සංස්කෘතික ආක්‍රමණ තියෙන බව. එසේ වුවත් මෙරට බුද්ධිමය සම්ප්‍රදායක් නැති නිසා ඔවුන් ඉවෙන් එහාට යෑමට සූදානම් නැහැ.

ඉස්ලාම් භීතියක් බටහිර ක්‍රිස්තියානි රටවල තියෙනවා. ඔවුන් එය අප මත ආරෝපණය කරන්න සූදානම් වෙනවා. අද බටහිර රටවල ජාතිකත්වයක් ඇති වීමට එක් හේතුවක් නම් ඒ රටවල ඇති ඉස්ලාම් භීතියයි. ඒ රටවල වෙසෙන සිංහලයන් එයට සාක්‍ෂි දරාවි. අනෙක ජාත්‍යන්තර සුපිරිව්‍යුහයේ සංස්ථාපනයට ඇති විරෝධය. මේ විරෝධය පිටුපස විශ්වවිද්‍යාලවලටත් විරෝධයක් තියෙනවා. මේ විශ්වවිද්‍යාල විරෝධය පිළිබඳ ලිපියක් පසුගිය පෙබරවාරි නවවැනි දා නිව්ස්වීක් සඟරාවේ පළ වී තිබුණා. ට්‍රම්ප් සංස්ථාපනයටත් ඊනියා බුද්ධිමතුන්ටත් විරුද්ධයි. අද එරට විශ්වවිද්‍යාලවල වැඩි බලයක් ඇත්තේ ඩෙමොක්‍රටික් අනුගාමිකයන්ට. එනම් ඊනියා වාමාංශිකයන්ට. මෙරට විශ්වවිද්‍යාලවල ඇත්තේ අනුකාරකයන් රොත්තක් පමණයි.

ඒ කොහොම වුණත් රනිල් ඉවත් කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය සූදානම් නැති බව පැහැදිලියි. ඔවුන් හිතන්නේ ජනාධිපතිවරණයට රනිල් ඉදිරිපත් වීම වාසියක් කියා. ඒ රනිල් දුර්වල අපේක්‍ෂකයකු නිසා. ඔවුන්ට රනිල් තියාගන්න අවශ්‍යයි. පසුගිය දා විජේදාස රාජපක්‍ෂත් එවැනි කතාවක් කියා තිබුණා. අද ඔහු නන්නත්තාර වූ දේශපාලනඥයෙක්. එහෙත් ඒ නිසා ම ඔහු කියන සියල්ල අහක දාන්න බැහැ. අතුරුදහන් වූවන් සෙවීමේ පනත අවශ්‍ය බටහිරට. ජෙනීවා සමුළුවලට. පනත ගෙනාවේ ඒ සඳහායි. එය සම්මත වූයේ තෙල්දෙණියේ සිද්ධි නිසා නොව රනිල් තවමත් අගමැති වීම නිසා හා ඒකාබද්ධ විපක්‍ෂයේ දුර්වල දේශපාලනය නිසා.

මේ වන විට රනිල් ඉවත් කර තිබිණි නම් ඒ පනත ගෙන එන්නේ නැහැ. අනෙක් අතට ඒකාබද්ධ විපක්‍ෂයේ සුපිරි දේශපාලනය නිසා සංශෝධන නොමැති ව ම පනත සම්මත කෙරුණා. තෙල්දෙණිය ඇතත් නැතත් රනිල් නොසිටියා නම් හා ඒකාබද්ධ විපක්‍ෂය තීක්‍ෂණ ව කටයුතු කළා නම් ඒ භයානක පනත ඒ ආකාරයෙන් බටහිරයන්ට අවශ්‍ය විධියට ම සම්මත වන්නේ නැහැ. පනත සම්මත කර ගැනීමට තෙල්දෙණි සිද්ධි නිර්මාණය කෙළේ යැයි කීම බුද්ධිමතුනට පමණක් විෂය වන්නක්. මෙරට විවිධ සංස්කෘතික ආක්‍රමණ තියෙනවා. දහහතර වැනි සියවසේ සිට තියෙනවා. මෙරටට මුස්ලිමුන් ආවේ අරාබියෙන් නො වෙයි. මේ අරාබියෙන් පැමිණි පිරිමින් සිංහල කාන්තාවන් ආවාහ කරගෙන මුස්ලිමුන් බිහි කළා ය යන්න සුරංගනා කතාවක් පමණයි. අරාබි තාත්තලාගේ හා සිංහල අම්මලාගේ දරුවන් මලයාලම් වචන සහිත දෙමළ බසක් කතා කරන්නේ කෙසේ ද යන ප්‍රශ්නය දශක කිහිපයක් තිස්සේ මා අසන නමුත් එයට පිළිතුරක් නැහැ. අඩුම තරමින් ඒ ප්‍රශ්නය සමාජයට ගොස් නැහැ.

විවිධ සංස්කෘතික ආක්‍රමණ ගැන සිංහල බෞද්ධයන් දන්නවා. ඔවුන් ඒවාට ඉඳහිට ප්‍රතිචාර දක්වනවා. එය සංවිධානාත්මක ව කෙරෙන්නක් නො වෙයි. අද කතෝලික පල්ලියටත් එරෙහි ව යෙහොවාගේ සාක්‍ෂිකරුවන්, නැවත ඉපදුුණු ක්‍රිස්තියානීන් සංස්කෘතික ආක්‍රමණයක යෙදෙනවා. කාදිනල්වරයා ඒ බව දන්නවා. ඔහු කරන ඇතැම් ප්‍රකාශවලින් ඒ බව කියැවෙනවා.

අහඹු සිදුවීම් දෙපැත්තම යොදා ගන්නවා අනෙක් පැත්තට චෝදනා කිරීමට. ඒකාබද්ධ විපක්‍ෂය (සංධානය) 2010න් පසු වැරදි රාශියක් කර තියෙනවා. මෛත්‍රිපාල වැන්නන් රාජපක්‍ෂලාට විරුද්ධ වුණෙත් එබැවිනුයි. මා මෛත්‍රිපාල සුදනකු කරනවා නො වෙයි. රනිල් ඉන්නකම් ගෝඨාභයට ප්‍රශ්න තියෙනවා. ඒ ගැන පසුව කතා කරමු. ඒ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පමණක් නො වෙයි. ජයග්‍රහණය සම්බන්ධයෙනුත්. එහෙත් දිලිත්ලා ඒ ගැන කතා කිරීමට පවා කැමති නැහැ. ඔවුන් හිතනවා ඇති මා වැන්නකු සමග කතා කිරීම කාලය කා දැමීමක් කියා.

Copyright © 2017 LNW TODAYThemetf

To Top