LNW SPY

පළාත් පාලන ජනවරමෙන් අගමැතිවරයා වෙනස් කිරීමේ වැරදි පීල්ලට ඒකාබද්ධ විපක්ෂය සීරුමාරු වීමෙන් 2020 ජනාධිපතිවරණයේ දී 2වන මනාපයට පාර කපාගත් යහපාලන සංහිදියා ඊනියා ජාතික ආණ්ඩුව

Published on: Feb 26, 2018- 2015 අගෝස්තු 17 දින පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු වසර 3කට පසු පවත්වන ලද පළමු මැතිවරණය වූයේ පළාත් පාලන මැතිවරණයයි. එය 2018 පෙබරවාරි 10 දින පවත්වන ලදී.

එහි ප්‍රතිඵල අනුව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද                    4,941,952        එනම්           44.65%

එක්සත් ජාතික පක්ෂය ඡන්ද                                      3,612,259        එනම්           32.63%

එක්සත් ජනතා නිදහස් සන්ධානය                            989,821           එනම්              8.94%

ජනතා විමුක්ති පෙරමුණ                                             693,875            එනම්              6.27%

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය                                             491,835             එනම්              4.44%

ඉලංකෙයි තමිල් අරසු කච්චි                                       339,675             එනම්              3.07%

ක්ද ලබා ඇත.

ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලැබී තිබෙන්නේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 45% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් බවත් මෛත්‍රී-රනිල්-සම්බන්ධන්-අනුර-හකීම් ඒකාබද්ධය විසින් 50% ආසන්න හෝ වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ඇති බවත් පෙනී යයි. ඒ අනුව සැබෑ ජනවරම ඇත්තේ පොහොට්ටුවටද යන්න මේ දක්වා කිව නොහැකිය.

තර්ක සහ අනුමිතීන් සාධක සහ සාක්ෂි මත තීරණය කරන හෙයින් 1988 පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අධ්‍යයනය කිරීම ද පළාත් පාලන ජනවරමෙන් අගමැතිවරයා වෙනස් කිරීමේ වැරදි පීල්ලට ඒකාබද්ධ විපක්ෂය සීරුමාරු වීමෙන් 2020 ජනාධිපතිවරණයේ දී 2වන මනාපයට පාර කපාගත් යහපාලන සංහිදියා ඊනියා ජාතික ආණ්ඩුව සම්බන්ධ ලිපියක් ලිවීමේදී වැදගත් වෙයි.

එකී ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ රණසිංහ ප්‍රේමදාස මහතා ඡන්ද 2569199 එනම් 50.43% ක්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ඡන්ද 2289860 එනම් 44.95%ක්ද ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් ඉදිරිපත් වූ ඔසී අබේගුණසේකර මහතා ඡන්ද 235719 එනම් 4.63ක් ලබා ගන්නා ලදී.

1988 පැවති ජනාධිපතිවරණ ප්‍රතිඵලය

  1. එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ රණසිංහ ප්‍රේමදාස මහතා ඡන්ද 2569199 එනම් 50.43%
  2. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ඡන්ද 2289860 එනම් 44.95%
  3. ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් ඉදිරිපත් වූ ඔස්වින් අබේගුණසේකර මහතා ඡන්ද 235719 එනම් 4.63ක් ලබා ගන්නා ලදී.

1988 ජනාධිපතිවරණයේදී 2වැනි මනාපය ගැනීමට සිදුවනු ඇතැයි බොහොදෙනෙකු විශ්වාසය තබා තිබුණද එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ රණසිංහ ප්‍රේමදාස මහතා ඡන්ද 2569199 එනම් 50.43% ලබා ගෙන තිබූ හෙයින් එය අවශ්‍ය නොවූයේ සියයට දශම 43ක් වැඩි වීමෙනි.

2010 සිට ජනාධිපතිවරණයට හංසයා මතුවීම

වර්ෂ 2009 මැයි මස 19 වැනි දින බෙදුම්වාදී සන්නද්ධ අරගලය නන්දුකඩාල් කළපුවේදී යුධමය වශයෙන් අවසන් කිරීමත් සමග 2010 පැවති ජනාධිපතිවරණයේ සිට හංසයා ලකුණ යටතේ පොදු අපේක්ෂක භූමිකාවක් ඉදිරිපත් වන්නට විය. ජනාධිපතිවරණය පමණක් ඉලක්කකර ගනිමින් හංසයා පක්ෂය ගොඩනැගුණ බව පෙනෙන්නට තිබුණ අතර 2010 සහ 2015 ජනාධිපතිවරණ සදහා හංසයා ලකුණින් පොදු අපේක්ෂකයන් ඉදිරිපත් කරනු ලැබීය. 2010 ජනාධිපතිවරණයට හංසයා ලකුණින් ඉදිරිපත් කළ පොදු අපේක්ෂකයාට ජයගත නොහැකි වුවත්, 2015 ජනවාරි පැවති ජනාධිපතිවරණයට හංසයා ලකුණින් ඉදිරිපත් කළ පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කළේය.

එකී 2015 ජනවාරි පැවති ජනාධිපතිවරණයට හංසයා ලකුණින් ඉදිරිපත් කළ පොදු අපේක්ෂකයා ජනාධිපති වීමත් සමගම එකී හංසයා සන්ධානයේ අරමුණු සහ ඉලක්ක නීතිමය සහ ජනතාමය වශයෙන් බලවත් කිරීමට එකී පොදු අපේක්ෂකයා කටයුතු කළේය. එයට නිවැරදිම නිදසුන වන්නේ 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ආසන්න දිනයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා කොළඹ දිසා අධිකරණයේ නඩු පැවරීමකින් වෙනස් කර ගැනීමට අවශ්‍ය නෛතික බලය අතැතිව මැතිවරණයෙන් පරාජයට පත් වූ මැතිවරණ අපේක්ෂකයින් රොත්තන් මන්ත්‍රීවරුකර ගැනීමය.

ඉන් නොනැවතුන ජයග්‍රාහී හංසයා පොදු අපේක්ෂකයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජාතික ආණ්ඩුව අර්ථ දක්වා ඇති 46.5 ව්‍යවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොව කථානායකවරයා මගින් අර්ථනිරෑපණය කරගනිමින් ඊනියා ජාතික ආණ්ඩුවක් නිර්මාණය කරගෙන අති විශාල ඇමති මණ්ඩලයක් පත් කර ගත්තේ ය.

එවන් වාතාවරණයක් යටතේ පැවති 2018 පළාත් පාලන මැතිවරණයේදී අති බහුතර ජනතාවක් එනම් 44.65% ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එනම් පොහොට්ටුවට ඡන්දය ලබා දී මේ නිර්මාණය කරගෙන සිටින අති විශාල ඇමති මණ්ඩලයකින් යුත් ඊනියා ජාතික ආණ්ඩුවට සිය ජනතා විරෝධය ප්‍රකාශය කරන ලදී. එසේ වුවත් එකී පොහොට්ටු නායකයන් එකී ජනවරමෙන් ලැබූ පිම්බීම වරදවා වටහා ගෙන අගමැතිවරයාට ඉවත්වන ලෙසත්, නව පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන ලෙසත් ප්‍රකාශ කරන්නට විය. මුහුද හත්ගව්වක් තියා අමුඩ ගැසීම ගැන අප අසා ඇතත් පළාත් පාලන මැතිවරණ පරාජයකින් පසු අගමැතිවරයා ඉවත් වීමක් ලංකාව වැනි රටකින් කිසිසේත් බලාපොරොත්තු විය නොහැකි බව එකී පොහොට්ටු නායකයන් දැන නො සිටින්නට ඇත.

2020 ජනාධිපතිවරණය සදහා තුන්වන අපේක්ෂකයෙක් බෞතීස්ම කර ගැනීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.1ට පටහැනිව යමින් ජනසම්මතයට පටහැනිව 30 වැඩියෙන් පවත්වාගෙන යන ඇමති මණ්ඩලය 30 දක්වා අඩු කර ගැනීම වැනි ප්‍රායෝගික ක්‍රියාමාර්ගවලට අවතීර්ණ නොවූ පොහොට්ටු නායකයන් ගලෙන් පට්ටයක් ගැනීම වැනි අගමැතිවරයා වෙනස් කර ගැනීමේ දේශපාලන උපායමාර්ගයක් වෙත යොමු විය. කරගත හැකිව තිබූ ජනාතා සුභවාදී පියවරයන් ගන්නවා වෙනුවට කරගත නොහැකි දේශපාලන උපායමාර්ග තෝරා ගත්තේ ය.

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල සමග ඊනියා ජාතික ආණ්ඩුව තීරණාත්මක ලෙස පසු බැස තිබීමත් සමග අගමැති ධුරය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයෙක් පත් කරන්නට යන බව පොහොට්ටු නායකත්වය විසින් සමාජගත කරන්නට වූ අතර ඒ සදහා ඊනියා ජාතික ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු මනා සහායක් දුන්නේ ය. 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජිතයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කරමින් ජනවරම නොතකා සිටි පොහොට්ටුවට ඡන්දය දුන් අපේක්ෂකයන්ගේ ජනවරම නැවත වරක් නොතකා සිටියේ ආකාරයෙනි.

මේ ආකාරයට දිගින් දිගටම හංසයා ජනාධිපති අපේක්ෂකයන් කටයුතු කරන්නේ ඇයිද? යන්න විමසා බැලීමේදී තවත් මාස 18කින් පමණ පැවැත්වීමට ඇති 2020 ජනාධිපතිවරණය පිළිබද විමසිය යුතුය. එහිදී ඉදිරිපත්වන හංසයා පොදු අපේක්ෂකයා ජය ගැනීමට නම් පොහොට්ටුවට ලැබෙන්නට ඇති දකුණේ ඡන්ද කඩා ගැනීමේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් නිදහස් සන්ධානයට සිදු වේ. ඒ සදහා හොදම අවස්ථාව 2018 පළාත් පාලන මැතිවරණයෙන් පසු අගමැති ධුරය සදහා නම් කරන ලංසු තැබීමයි.

2018 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල සමග අගමැති ධුරය හිමි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් නිදහස් සන්ධානයේ ඊනියා ජාතික ආණ්ඩු ඇමතිවරු අතර මේ සිදුකරන ක්‍රීඩාව අවසන් වන්නේ 2020 දී තුන් කොන් ජනාධිපතිවරණ සටනක් අවුලුවා දකුණේ ඡන්ද බෙදීමට සළස්වා අවසානයේ 2වන මනාපය ගැනීමෙන් හංසයා ජනාධිපති අපේක්ෂකයා ජයගැන්වීමෙනි.

2020 ජනාධිපතිවරණයේ තුන්කොන් ජනාධිපතිවරණ සටනක දී කිසිත් අපේක්ෂකයෙක් 50%වඩා ඡන්ද ලබා නොගන්නා බව වටහා ගැනීම අසිරු නොවේ.

පළාත් පාලන ජනවරමෙන් අගමැතිවරයා වෙනස් කිරීමේ වැරදි පීල්ලට ඒකාබද්ධ විපක්ෂය සීරුමාරු වීමෙන් 2020 ජනාධිපතිවරණයේ දී 2වන මනාපයට පාර කපාගත් යහපාලන සංහිදියා ඊනියා ජාතික ආණ්ඩුව අද දවසේත් රටේ දේශපාලන ගමන් මග තීරණය කිරීමට සමත් වී ඇති බව පෙනේ. එය ඔවුන්ගේ දක්ෂතාවය නොව ඒකාබද්ධ විපක්ෂයේ නො හැකියාවයි.

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන
B.Sc(Col),PGDC(Col)
2018.02.26

Copyright © 2017 LNW TODAYThemetf

To Top