LNW SPY

බල්ලාගේ වැඩේ කරන්නට යන බූරුවා කෘෂි රක්ෂණ මණ්ඩලය

Published on: Feb 21, 2018- මෙරට ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය සුරක්ෂිත කිරීම අරමුණු කරගෙන 1973 වර්ෂයේ ගොවි විශ්‍රාම පනත පාර්ලිමේන්තුවට ගෙන සම්මත කර කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පිහිටුවනු ලැබීය. ඒ 1973 අංක 27 දරන ජාතික රාජ්‍ය සභා පනත යටතේය. ගොවි විශ්‍රාම වැටුප්, වගා කටයුතු හා බැඳුණු රක්ෂණ කටයුතු ඇතුළු සේවාවන් ගණනාවක් මෙම ආයතනයේ විෂය පථයට අයත් වේ.

ඒ අනුව ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය, කෘෂි රක්ෂණ යෝජනා ක්‍රමය සහ සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය ඇතුළුව විවිධ සුබසාධන රක්ෂණ යෝජනා ක්‍රම මණ්ඩලය මගින් ගොවි ජනතාව වෙත හඳුන්වා දෙනු ලැබීය.

සෑම කන්නයකම රක්ෂිත වගාවන් වලින් හානියට පත් වූ වගාවන් වෙනුවෙන් ගොවි ජනතාවට වන්දි ගෙවීමේ කටයුතු සහ 1992 වසරේ අප්‍රේල් මස සිට වියපත් ගොවි ජනතාවට විශ්‍රාම වැටුප් ගෙවීම ආරම්භ කරන ලදී.

මෙරට ගොවි ජනතාව වෙනුවෙන් මෙවැනි සේවාවන් රැසක් ඉටු කරන කෘෂි රක්ෂණ මණ්ඩලයත් ගොවි ජනතාවත් අද මුහුණ දී සිටින්නේ බරපතළ ඛේදවාචකයකටය. ඒ 2015 පෙබරවාරි මස පත් කරන ලද වර්තමාන සභාපතිවරයා ඇතුළු වගකිවයුත්තන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙනි.

ඔවුන්ගේ එම තීරණ නිසා දායකයාට වයස අවුරුදු හැට සම්පූර්ණ වන දිනයේ සිට විශ්‍රාම වැටුප හිමි විය යුතු වුවත් හිඟ විශ්‍රාම වැටුප් නොමැතිව විශ්‍රාම වැටුප් පොත සකස් කරන දිනයේ සිට ඉදිරියට විශ්‍රාම වැටුප් ගෙවීම සිදු කිරීම සිදු කරයි. 2014 වර්ෂයෙන් පසුව මිය යන විශ්‍රාම වැටුප් ලාභියාගේ කාලාත්‍රයාට විශ්‍රාම වැටුප් ගෙවීම නතර කර ඇත.

2015 වර්ෂයේ සිට තෙවන පාර්ශ්වයේ රථවාහන රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලදී. රක්ෂණ මණ්ඩල පනතට අනුව කෘෂිකාර්මිකයන්ගේ කෘෂිකාර්මික උපකරණ පමණක් රක්ෂණය කළ හැකි නමුත් මේ වන විට තෙවන පාර්ශ්ව රථ වාහන රක්ෂණ යෝජනා ක්‍රමය අනෙකුත් රක්ෂණ සමාගම් වලට සමගාමීව තරගකාරී මට්ටමෙන් සියලුම වර්ගයේ රථවාහන සහ කෘෂිකාර්මිකයන් නොවන පුද්ගලයන්ගේද වාහන රක්ෂණය කරමින් සිදු කරමින් යන්නේ දැවැන්ත ජාවාරමකි.

2018 වර්ෂයේ මාණ්ඩලීය ක්‍රියාත්මක සැලැස්මෙහිද තෙවන පාර්ශ්වයේ රථවාහන රක්ෂණ යෝජනා ක්‍රමය මූලික පදනම ලෙස ගෙන සකස් කර ඇති අතර දිස්ත්‍රික් මට්ටමෙන් ඉටු කළ නොහැකි මූල්‍ය ඉලක්කයන් ලබා දී ලාභ ලැබීම පමණක් මූලික අරමුණ කරගෙන ඇත. තවද මාණ්ඩලීය සමස්ත සේවකයන්ගේ මාසික වැටුප් හා දීමනා දිස්ත්‍රික් මට්ටමෙන් උපයා ගත යුතු බවද අදාළ ඉලක්කයන් සපුරා නොගන්නේ නම් මාසික වැටුප ගෙවිය නොහැකි බවද මේ වන විට දැනුම් දී ඇත.

එම නිසා 2018 වර්ෂයේ සිට මණ්ඩලය උපයන ආදායම වැඩි කළ යුතු අතර මනා මූල්‍ය කළමනාකරණයක් පවත් වාගෙන යා යුතු බවත් පවසයි. ජනවාරි මාසයේ සියලු පරිපාලන වියදම් මණ්ඩලය විසින් උපයා ගත යුතුව ඇති නිසා දිස්ත්‍රික්කයට ලබා දී ඇති මූල්‍ය ඉලක්කයන් ළඟා කර ගැනීමට වග බලා ගත යුතු බවත් පවසයි.

ඒ අනුව 2018 වර්ෂයේ සිට සියලුම දිස්ත්‍රික් කාර්යාලයක්ම පිරිවැය ඒකකයක් වශයෙන් සලකා කටයුතු කරනු ලබන අතර අදාළ දිස්ත්‍රික්කයේ පරිපාලන වියදම් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන පසුගිය මස ඉපයීම් ප්‍රවර්ථන මාසය සඳහා පරිපාලන වියදම් මූල්‍යනය කිරීමය 2017.11.29 වන දින එකඟ වූ ප්‍රතිශතයන් අනුව ලබා ගත හැකි බව සියලුම දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් වෙත නිකුත් කර ඇති ලිපියක සඳහන් වේ.

ඒ අනුව දැන් කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ අරමුණ වී ඇත්තේ ලාභ ඉපයීම පමණකි. එහෙත් මණ්ඩලයේ මුදල් අවභාවිතා වන බවට මේ වන විට අවස්ථා ගණනාවකදීම චෝදනා එල්ල වී තිබේ. සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් ඉකුත්දා දඹුල්ලේ පැවැත් වූ මාධ්‍ය හමුවකදී අනාවරණය කර සිටියේ, කෘෂි රක්ෂණ අරමුදලේ තිබිය යුතු රුපියල් කෝටි 600 කට අධික මුදලක් මේ වන විට අතුරුදන්ව පවතින බවය. එනම් මේ වනවිට එහි ඉතිරිව ඇත්තේ රුපියල් කෝටි 150 ක මුදලක් පමණක් බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය. තවද වගා රක්ෂණය යටතේ එක් ගොවි මහතෙකුට මසකට හිමිවන රුපියල් 10,000.00 ක වන්දි මුදලින් රුපියල් 1,350.00 බැගින් නැවත රක්ෂණයක් සඳහා බව පවසමින් රජය අයකර ගන්නා බවත් ඒ මහතා පැවසීය.

එසේම කෘෂි රක්ෂණ මණ්ඩලය විසින් වසර හතක් පුරා රුපියල් කෝටියකට අධික මුදලක් බැර කර නොමැති බව හෙළි වන්නේ කම්කරු අමාත්‍යාංශය මගින් කරනු ලැබූ හදිසි පරීක්ෂණයකදීය.

ඒ අනුව කෘෂි රක්ෂණ මණ්ඩලය එහි සේවයන්ගේ ගැටලු විසඳීමට මැදිහත් වී නොමැත. ගොවීන්ගේ ගැටළු වලදී කර ඇති මැදිහත් වීම් වල දිග පළලද හෙළි වෙමින් තිබේ. දැන් ගොවීන්ට ලබා දුන් සේවාවන් ද කප්පාදු කරනවා පමණක් නොව සේවකයන්ගේ වැටුපටද තට්ටු කිරීම දක්වා තත්ත්වය දුරදිග ගොස් තිබේ. බල්ලාගේ වැඩේ බූරුවා කරන්නට යනවාක් මෙන් දැන් මේ ගැටලු විසඳීම සහ තමන්ගේ විෂය පථය ආවරණය කරනවා වෙනුවට වාහන රක්ෂණය කර මුදල් සෙවීමට දිස්ත්‍රික් කාර්යාල වලට බල කර සිටීම විසින් පාලකයන්ගේ අඳබාල කම මැනවින් ප්‍රදර්ශනය වේ.

එහෙත් රාජ්‍ය ආයතන වලට මෙවැනි අඳබාල පාලකයන් පත් කිරීමේ වගකීම භාර ගත යුත්තේ ආණ්ඩුව විසිනි. ඒ නිසා කෘෂි රක්ෂණ මණ්ඩලයේ මේ සිදු වෙමින් තිඛෙන අසාධාරණයන්ට සහ විනාශයන්හි වගකීම සෘජුවම ආණ්ඩුව විසින් භාරගත යුතු බව අවසාන වශයෙන් කිව යුතුය.

සුධීර ඉද්දමල්ගොඩ

Copyright © 2017 LNW TODAYThemetf

To Top