Anonymous Reporter

බ්‍රිගේඩියර් සුලි කුනා‍ටුව…..ඩයස්පෝරාව ඉල්ලු සිරස්තල ලබාදී ඇත….

දූත සේවය ශිෂ්ඨාචාරය තරම්ම පැරණිය. ධර්මදූත සේවයේ යෙදෙන භික්ෂූන් උදෙසා බුදුරජානන්වහන්සේ විනය නීතියක් පැනවූ සේක . ඒ ජනපද නිරුක්තියට ගරු කල යුතු බවයි. 1961 අප්‍රියෙල් 18 වියනා සම්මුතියේ දූත මන්ඩල පරිශිෂ්ඨයේ 7 වගන්තිය අනුව ආරක්ෂක සම්බන්ධිකාරක තනතුරට තානාපති විනිර්මුක්තියක් හිමිවෙයි. ඒ අනුව මොහු අදාල රටේ නිල අමුත්තකු මෙන්ම විශේෂ වරප්‍රසාද ලත් තැනැත්තෙක් බවට පත් වෙයි. මෙම තනතුර හැදින්වීමේ වඩාත් ප්‍රචලිත පාරිභාෂිතය ඩී.ඒ නම් වෙයි.

ආරක්ෂක සම්බන්ධිකාරකගේ කාර්යභාරය ඒ ඒ රටවල බලය සහ බල ව්‍යාපෘතිය අනුව තීන්දු වන්නකි. උදාහරනයක් ලෙස ගත හොත් ඇමෙරිකාව විසින් රටවල් 139 කට ඩී.ඒ පත් කර ඇත. ඇමෙරිකන් හමුදා කදවරු ලොව් සතර දිග්භාගයම වසා පැතිර ඇත, යුධ නැව් සාගර කලාපයන්හි බලය පතුරා ඇත. චරපුරුෂයන් ලොව සෑම රටකම ක්‍රියාත්මකය. ඔවුන්ට යලිතල සැපයිය යුතුය . ඒ අනුව ඇමෙරිකන් ඩී.ඒ තනතුර යනු පුස් වෙඩිල්ලක් නොව රටට ඵලදායී තනතුරකි.

ආරක්ෂක සම්බන්ධිකාරක (ඩී.ඒ) දුරන්ධරයන් පත්කිරීම ලංකාව වැනි රටකට කෙතරම් ඵලදායිද ? පත් කරන වුන්ගේ රාජකාරිය කවරේද ? මෙම කරුනු ප්‍රශ්න ගත වුවද ඩී.ඒ තනතුරෙහි ඵලදායීතාව ‍රැදෙනුයේ ඔවුන් සත්‍ය ලෙසම ඉ‍ටුකරන කාර්යභාරය අනුවය. ලංකාව ඩී.ඒ කෙනෙකුගෙන් බලාපොරොත්තුවන ප්‍රමුඛ කාර්ය 2 කි

1. 2009 පරාජය කලේ කලේ කොටි ත්‍රස්තවාදීන්ගේ මිලිටරි පෙරමුන පමනි, දේශපාලන පෙරමුන යහමින් ක්‍රියාත්මකය, ලන්ඩන් වැනි සංවේදී ගෝලීය මධ්‍යස්ථාන තීරනාත්මකය . මල්ටි බැරල් වලින් මිලිටරිය පරාජය කලද දේශපාලන පෙරමුන පරාජය කල හැක්කේ මනෝ මූල සංග්‍රාමයකි . අන්තවාදය අන්තවාදයෙන් පෝෂණය නොකොට හීන් නූලෙන් කපා දැමීමට වග බලා ගත යුතුය

2. යුධ අපරාධ චෝදනා වලින් ලත් ජාත්‍යන්තර අපකීර්තිය සමනය කර ගැනීම විදේශ දූත සේවාවල වගකීමය.ඒ අනුව ලන්ඩන් වැනි ලෝක බල කේන්ද්‍ර වල සංයමයකින් යුතුව මල් පාත්ති දැමිය යුතුව ඇත.

අනදෙන රේඛාව අනුව ඩී.ඒ අදාල රටේ තානාපති යටතේ වැඩ කරන පුද්ගලයෙකි . එහෙයින් ලංකාව වැනි විදේශ සේවය කුනුවූ රටක ඩී.ඒ තනතුර කුනුවීයාම නොවැලැක්විය හැක. තානාපතිලා ඩීල් සහ බිස්නස් වලට සීමා වූ කල්හි ඩී.ඒ කෙනෙකුගෙන් වැඩි යමක් බරාපොරොත්තු විය නොහැක. එක්කො ඔහු තානාපතිගේ ඩීල් වලට අත් උදව් දිය යුතුය, නැත්නම් පු‍ටු රත්කරමින් කාලය ගෙවිය යුතුය . මක්නිසාදයත් ඩී.ඒ ට තනිව කල හැකි කාර්යක් නොමැත. ඔහුට කියා කාර්ය මන්ඩලයක් පවා නොමැත. එහෙයින් හදිසි අවස්ථාවක් පැමිනි විගස පු‍ටු රත් කරන මෙවන් නිලධාරීන්ට හොට පැටලීම වීම අරුමයක් නොවේ.

ලොව වැඩිම උද්ගෝෂණ ප්‍රමාණයක් සිදුවන්නේ ඇමෙරිකානු තානාපති කාර්යාල ඉදිරිපිටය.බොහෝ ඇමෙරිකානු තානාපති කාර්යාලවල ත්‍රිවිධ හමුදාවම ආවරණය වනපරිදි ඩී.ඒ ත්‍රිත්වයක් අනුයුක්ත කොට ඇත.නමුත් මේ කිසිදු උද්ගෝෂණයක්දී ඇමෙරිකානු ඩී.ඒ කෙනෙකු සෙනග ඉදිරියට නොපැමිනේ. එසේ නොපැමිනෙන්නේ බය නිසා නොවේ. උද්ගෝෂකයන් ඉදිරියට පැමිනීම හෝ සිය ධජය පෑම වැනි සිල්ලර අයිතම් වලට වඩා ශුක්ෂම රාජකාරියක තිතතින්ම නියලෙන නිසාවෙනි. උද්ඝෝෂකයගේ එකම අරමුන උපරිම ප්‍රසිද්ධියක් ලබා ගැනීමය. බුරන බල්ලන් මෙන් මොරදෙන උන්ගේ ඉදිරියට යාම උන් සොයන ප්‍රසිද්ධියට උඩගෙඩි දීමකි

එදා මුලතිව් කදවුර බිදවැටෙන විට කොටි ඉදිරියට යාමට එකදු බ්‍රිගේඩරයෙකු සිටිය නැත. මුලින්ම පැන ගියේ ඔවුන්න්ය. ඔවුන් පැනගියේ කාලතුවක්කු සහ යුද්ධ ටැංකිද සතුරා අතර පත් කරමිනි. අලිංමංකඩ තත්වයද මීට නොදෙවෙනිය . 2000 වර්ශයේ කොටි නොනවතින ‍රැල්ල ඉදිරියේ මන්කුලම් සිට ඕමන්තෙයි දක්වා කි.මී 52 ක් පසුබැස ගියේ සතුරාට දෙසට එකදු වෙඩිල්ලක් පත්තු නොකරය. මෝටර් සයිකලයෙන් ගිය සෙසු නිලධාරියෙකු බිමට බස්වා උසස් නිලධාරියෙකු පන බයේ පැන ගිය ආකාරය මා ඇසින් දැක ඇත. වෙනතක් තියා රතුපස්වල ගමේ ගෝරියේදී බ්‍රිගෙඩියර් එලියට බැස්සේ නැත, වාහනයක සැගවී සිටියේය

අහඹු ලෙස කඩන් පාත්වූ ගොන් වස්සෙකු බැද මැතිවරන කෙත අස්වැදීමට ගොස් හානි දෙකක් කරගෙන ඇත. කාලයක් තිස්සේ තටමලා හදාගත් සංහිදියා මල් පාත්තියට බරපතල හානියක් සිදුකරගෙන ඇත. අනෙක් පසින් වැලේ වැල් නැතිව සිටි කොටි ඩයස්පෝරාවට නව පනක් ලබා දී ඇත. එදා යුධ සමයේ 10000 පමන දෙමල ජනකායක් ලක් රජයට එරෙහි විරෝධාතාවලට සහභාගී වූහ. ඔවුගේ ‍රැලි මධ්‍යන්හි සිරස්තල විය . නමුත් යුද්ධය අවසන් වූ පසුව ඔවුන් පැවැත් වූ කිසිදු ‍රැලියකට නිසි මාධ්‍ය අවධානයක් ලැබුනේ නැත. ඔවුන්ගේ සංවිධාන ශක්තිය දියාරු වී ගියේය. නමුත් බ්‍රිගේඩියර් සුලි කුනා‍ටුව කැඩි බිදීගිය ඩයස්පෝරාවට යලි එකතුවීමට කූඩාරමක් තනා දී ඇත. ඩයස්පෝරාව ඉල්ලු සිරස්තල ලබාදී ඇත.

තරු නිලධාරීන්ට මුලික කැඩෙට් නිලධාරී පාඨමාලවේ පලමු පාඩම මතක් කරදිය යුතුව ඇත. පුහුනුවේ පලමු පාඩම සිවිල් නීතිය සහ හමුදා නීතිය යන මුලික නීති පද්දතීන් දෙකට යටත්වූ අයෙකුගේ විනයගරුක භාවයයි . විදේශ සේවයකට අනුයුක්ත වූ කලී අදාල රටේ මූලික නීතියටද යටත් විය යුතුය . ජනපද නිරුක්තිය ආරක්ෂා කලයුතුය . හමුදාපතිවරයාට මෙම පාඩම අමතක වීම එක් අතකින් ජාතියේ අවාසනාවකි. අනෙක් පසින් ඔහුගේ අවාසනාවකි. නිසැකවම යථාකාලයේදී මෙම දෙපාර්ශවයම මෙහි ප්‍රතිවිපාක වලට මුහුන දෙනු ඇත .

ලියුම්කරු – කීර්ති රත්නායක

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copyright © 2017 LNW TODAYThemetf

To Top