Anonymous Reporter

හමුදා මර්මස්ථානවලට කඩා පැනලා අවි ගබඩාත් පරීක්ෂා කළ UN මෙහෙයුම

ස්ථානය වවුනියාවේ යුද හමුදා 1 වැනි සන්නද්ධ බුද්ධි බළකා මූලස්ථානයේ ප්‍රධාන ‍ෙදාරටුවය. දිනය පසුගිය බ්‍රහස්පතින්දා (7) ය. පෙරවරුව ගෙවෙමින්ය. ‍ෙදාරටුව අසල නතර කළ රථයක සිටිනා විදේශිකයන් ඇතුළු පිරිසක් කඳවුර තුළට ඇතුළුවීමේ නොඉවසිල්ලෙනි. වඩාත්ම නොසන්සුන්ව සිටින්නී ශ්‍රී ලාංකික නීතිඥවරියකි. පිරිස පැමිණ ඇත්තේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරයක් සහිතවය.

මේ සිවිල් කණ්ඩායම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමිසමේ නියෝජිත කණ්ඩායමක් බව කියැවිණි. ඔවුන්ට අවශ්‍ය වී තිබුණේ අප බලාපොරොත්තු නොවන ආකාරයක ප්‍රවේශයකි. ඔවුන්ගේ ඉලක්කය රටේ ආරක්ෂක මර්මස්ථානයක් ලෙස රක්ෂා කළ යුතු සන්නද්ධ බුද්ධි බළකා කඳවුර පරීක්ෂාවට ලක් කිරීමය. කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව එක්වර කඩාපාත් වූ මේ විදේශිකයන් සහිත කණ්ඩායම කඳවුර තුළට ඇතුළු කරගන්නට කඳවුර භාර නිලධාරීන්ට සිදුවන්නේය. සන්නද්ධ බුද්ධි බළකා කඳවුර වෙත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කණ්ඩායමක් මේ ආකාරයෙන් කඩා වැදුණු දෙවන අවස්ථාව මෙයය. මීට වසරකට පමණ එපිටදීත් මෙම මානව හිමිකම් කණ්ඩායමට මේ කඳවුර මේ ආකාරයෙන්ම පරීක්ෂණයට ලක්කිරීමට ඉඩ දෙන්නට ආණ්ඩුව කටයුතු කළේය.

කඳවුරට පිවිසි ඔවුහු කඳවුරේ අස්සක් මුල්ලක් නෑර පරීක්ෂා කළහ. මේ පරීක්ෂාවේ අපේක්ෂාව අතුරුදන් වී ඇතැයි කියන පුද්ගලයන් පිරිසක් පිළිබඳ යුද අපරාධයක් යටතට ගැනෙනා තොරතුරු සෙවීමය. මුළු කඳවුරේම සෙබළ මුළු බලා සිටිද්දී කඳවුරේ සිවු කොන පරීක්ෂාවට ලක් කෙරිණි. පරීක්ෂා කළ යුතු යැයි කියනු ලබන කඳවුරේ සෑම රහස්‍ය ස්ථානයක් වෙතම පිවිසීමට මේ කණ්ඩායමට ඉඩ ලබා දෙන්නට කඳවුර භාර නිලධාරීන්ට සිදුවිය. සිදුවූයේ ක්ෂුද්‍ර ගවේෂණයකි. එහෙත් ඉලක්ක කරගෙන පැමිණි කල්පිතයන් තහවුරු කරගැනීම සඳහා වූ එකම සාක්ෂියක්වත් නොතිබිණි. සිවිල් පරිපාලනය ඇත්තේ හමුදාව යටතේ නොවන බවත්, අත්අඩංගුවට ගැනීම් වැනි තොරතුරු අවශ්‍යනම් යා යුත්තේ වවුනියාව පොලිසියට බවත් මේ කණ්ඩායමට වටහා දෙන්නට සන්නද්ධ බුද්ධි නිලධාරීන්ට සිදුවිය.

1 වැනි සන්නද්ධ බුද්ධි බළකාය පිහිටි කඳවුරු පරිශ්‍රයට යාබදව විශේෂ කාර්ය බළකා ක½දවුරත්, යුද හමුදා විශේෂ බළකායේ කඳවුරත් පිහිටා තිබෙන්නේය. අනතුරුව මෙම කණ්ඩායම පිටත්ව ගියේ එම කඳවුරු වෙතය. විශේෂ කාර්ය බළකා කඳවුරත්, යුද හමුදා විශේෂ බළකා කඳවුරත් මේ කණ්ඩායම වෙනුවෙන් විවර කරන්නට යළිත් වරක් හමුදා ප්‍රධානීන්ට සිදුවිය. අතුරුදන් වූ පුද්ගලයන් ගැන විමසමින්, ඔවුන් රඳවා සිටි සිරකුටි පිළිබඳ විමසමින්, තොරතුරු එක්රැස් කිරීමේ ස්ථාන, මතු නොව අවි ආයුධ ගබඩාත් පිරික්සමින් මේ කණ්ඩායම කළ තොවිලය රට සම්බන්ධව යළිත් සිතා බලන්නට අපට බලකරමින් සිටියේය.

ලෝකයේ කිසිම රටක් යුද අපරාධ හෝ වෙනත් ඕනෑම චෝදනාවක් වෙනුවෙන් ආරක්ෂක මර්මස්ථාන බඳු හමුදා ඒකකයන්හි රහස්‍ය ස්ථාන පිටස්තර සංවිධානයක් වෙත විවර කරන්නේ නැත. මේ ආකාරයෙන්ම මේ සංවිධානයේ නියෝජිත පිරිස් අවස්ථා දෙකකදී ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර පරීක්ෂාවට ලක් කළේය. ඒ සඳහා අවශ්‍ය පහසුකම් රජය විසින් සපයා දුන්නේය.

විනිවිදභාවය පිළිබඳව විශ්වසනීයත්වය ආරක්ෂා කෙරෙන්නේ සිය නිරුවත ඉස්තෝප්පුවේ සිට අසල්වැසියන්ට ප්‍රදර්ශනය කිරීමෙන් නොවේ. රටක් ලෝකයට විවෘත විය යුත්තේ ඒ රටේ පෞරුෂ සීමාව ඉක්මවා නොයන ආකාරයටය. අපට සමස්තය පිළිබඳ ගැටලුව උපදින්නේ මේ පසුබිමේදීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය අයි.ආර්.සී. සංවිධානයක් නොවේ. එවැනි සංවිධානයක් මොනම ආකාරයක හෝ අත්්තනෝමතිකකමක් ප්‍රකට කරමින් මේ කඳවුරුවලට වදින්නේ නැත. ඔවුන් කරන උපරිමය මෙවැනි ප්‍රවේශයක් වෙනුවෙන් රජයකින් අවසර ඉල්ලීමය. එවැනි අවසරයක් ලබා දිය යුත්තේ කුමන සීමාවක සිටද යන තීන්දුව ප්‍රකාශ වන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති මතය.

2015 වසරේ පැවැති මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම හා මානව අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා වූ යෝජනාවලියේ (30/1 _ 2015) සම අනුග්‍රාහකයෙක් ලෙස ලංකාව අස්සන් තබනු ලැබුවේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, සංක්‍රාන්ති යුක්තික ඉටු කිරීම, අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීම, සත්‍ය විමර්ශන කොමිසමක් පිහිටුවීම, යුද අපරාධකරුවන්ට දඬුවම් කිරීම, වින්දිතයන්ට වන්දි ගෙවීම, ඇතුළු කාරණා ගණනාවකට කොන්දේසි රහිතව ආණ්ඩුව එකඟ වී තිබුණේය. මෙම ගිවිසුමේ ආනුෂාංගික කරුණු සහිතව නව සංශෝධන එක්කරමින් ඊට පූර්ණව බලාත්මක කරන ගිවිසුම අස්සන් කරනු ලැබුවේ පසුගිය නොවැම්බර් මස 14 වැනිදාය. එම ගිවිසුම ලංකාව විසින් එක්සත් ජාතීන් වෙත ඉදිරිපත් කරනු ලැබුවේ 2017.12.05 දිනය. එහෙත් එය රටට බලාත්මක වන්නට නියමිතව තිබුණේ 2018.01.04 දාය.

රජය පසුගිය 05 වැනිදා ආරක්ෂක අමාත්‍යාංශය හරහා රටේ ත්‍රිවිධ හමුදාව වෙත පණිවුඩයක් නිකුත් කර තිබුණේය. එම පණිවුඩයේ සඳහන් වූයේ ඕනෑම අවස්ථාවක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් පැමිණ සිය අනන්‍යතාව තහවුරු කරන්නේ නම් ඔවුන්ට කඳවුරු පරීක්ෂාවකට ඉඩ සැලසිය යුතු බවය. පසුගිය බ්‍රහස්පතින්දා (07දා) එක්සත් ජාතීන්ගේ කොමිසමේ නිලධාරීන් හමුදා කඳවුරු පරීක්ෂාවට යන්නේ එසේ ලද ලයිසන් පිටය. එහෙත් එම ඇතුළුවීම් හා පරීක්ෂා කිරීම් රටේ නෛතික පදනම උල්ලංඝනය කරන අත්තනෝමතික බලහත්කාරකමක් බව තේරුම් ගැනීම පමණක් දැනට ප්‍රමාණවත්ය. මේ ආරම්භයක් පමණක් බැවිනි.

මේ රට අතිශය දුර්භාග්‍යමත් වකවානුවක් පසුකර පැමිණි රටකි. අපේ රටේ පුද්ගලයන් බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ මෑත ඉතිහාසය අවුරුදු හතළිහකටත් වඩා පැරණිය. 71 කැරැල්ල, 81 කළු ජූලිය, 88-89 දකුණේ භීෂණ කාල පරිච්ඡේදය, හා තිස් වසරක යුද්ධය පැවති කාල පරිච්ඡේදය තුළ වාර්ගික භේදයකින් තොරව අතුරුදන් වූ සිවිල් පුරවැසියන් සංඛ්‍යාව ගණනය කර නැත. මහින්ද රාජපක්ෂ ජිනීවා නුවරට ගොස් එක්සත් ජාතීන්ගේ සංගමය අබියස කතා කරන ප්‍රස්තුතය වන 88-89 භීෂණයේදී අතුරුදන් වූ දකුණේ තරුණයන්ගේ ප්‍රමාණය හැට දහස ඉක්මවා යන බව කියැවුණේය. ලෝකයේ සිදුවිය හැකි අතිශය ම්ලේච්ඡම අමානුෂිකත්වය වන බලහත්කාරයෙන් සිදුවන පුද්ගල අතුරුදන්වීම් වළක්වා ගැනීම සඳහා වූ සමාජ කථිකාව මුලින්ම ඇතිවූයේ මේ සමාජය තුළය.

මේ අතර රට බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියට අස්සන් කළේය. පසුගිය 2016 මැයි මස 03 දා මෙම ගිවිසුමට අස්සන් තැබිණි. ඒ අනුව 2016 ජුනි මස 24 දා පටන් එම සම්මුතිය ඊට සම්මුතිගත වූ වෙනත් රාජ්‍යයන්ට මෙන්ම ශ්‍රී ලංකාව කෙරෙහිද බලපැවැත්වූයේය.
මේ ජාත්‍යන්තර සම්මුතියේ එකඟතා ක්‍රියාත්මක කිරීම සඳහා රට තුළ නෛතික විධිවිධාන පනවා ගැනීම අනිවාර්ය සාධකයක් විය. එම අවශ්‍යතාවම මත පදනම්ව “බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ සම්මුතිය” නමැති නව පනත් කෙටුම්පතට අදාළ ගැසට් පත්‍රය 2017 පෙබරවාරි 09 වැනිදා පළ විය. අනතුරුව මාර්තු 07 දා එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

“බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය බලාත්මක කිරීම ස¼දහාද; බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට භාජන වූ වින්දිතයන්ට යුක්තිය පසිඳලීමේ සහ වන්දි ලබා ගැනීමේ අයිතිවාසිකම සහතික කිරීම සඳහාද; ඊට සම්බන්ධ හෝ අනුශාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද වූ පනත් කෙටුම්පතකි” ලෙස එම කෙටුම්පතේ දක්වා තිබුණේය. පනත විවාදයට නියමිතව පවතින අතරවාරයේ පාර්ලිමේන්තුව තුළ බරපතළ විරෝධතාවක් පැන නැඟිණි. අනතුරුව ජනාධිපතිවරයා මැදිහත්ව පනත සම්මත කරගැනීමේ ක්‍රියාවලිය නැවැත්වූයේය.

මෙම පනත් කෙටුම්පතේ පළමු වගන්තියට අනුව පනත බලාත්මක වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි වගන්තිය ප්‍රකාරව එය පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත් දිනයේ සිටය. ඒ අනුව මේ මොහොත වනතුරුත් රට තුළ එහි නෛතික වලංගුභාවයක් නැත. නමුත් දැන් රට එම ජාත්‍යන්තර සම්මුතියට බැඳී අවසානය.

මේ ගිවිසුමට රටේ සේනාධි නායකයා වූ ජනාධිපතිවරයාගේ එකඟත්වයක් නැති බව රටට පෙන්වමින් තිබේ. ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයෙක් වූ මහින්ද සමරසිංහ කීවේ මේ ගිවිසුම අස්සන් කළ යුතුව තිබුණේ රටේ පාර්ලිමේන්තුව දැනුවත් කර ලබා ගන්නා එකඟතාවකින් අනතුරුව බවය. ලංකාව ඉන්දියාව හා මාලදිවයින යන රටවලට මෙම සම්මුතිය ඉදිරිපත් කර තිබුණත් අනෙක් රටවල් දෙක අවසන් නිගමනයකට කැමැත්ත පළ කර නැති බවය. සාමාන්‍ය තත්ත්වය යටතේ සිදුවීම් කළමනාකරණය කිරීමට නොහැකිව බිඳවැටුණු සිවිල් සමාජයක් සහිත තිස් අවුරුදු යුද්ධයක් පැවති රටක සිදුවීම් අර්ථකථනය විය හැකි බිහිසුණු බව පිළිබඳ තක්සේරුවකින් තොරව මෙම ගිවිසුම අස්සන් කළ ආකාරය පිළිබඳ රටේ ජනාධිපතිවරයාත් යම් වික්ෂිප්තභාවයකට පත්ව සිටි බවට වන ඉඟි මහින්ද සමරසිංහගේ ප්‍රකාශය තුළ ගැබ් වුණේය. අඩුම තරමේ මේ පළාත් පාලන මැතිවරණය ඉවර වන තුරුවත් මේ වික්ෂිප්ත බව ජනාධිපතිවරයා වෙතින් පහව නොයනු ඇති බවට විශ්වාසය.

මේ මොහොත වනවිටත් “බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ සම්මුතිය” පාර්ලිමේන්තුව තුළ විවාදයටවත් ගෙන නැත. ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය,වගවීම හා මානව අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා වූ යෝජනාවලිය (30/1-2015) කැබිනට් අනුමැතිය සහිතව එක්සත් ජාතීන් වෙත ඉදිරිපත් කර ඇතත් එය බලාත්මක වන්නේ 2018-01-04දා සිටය. අතීතයට බලපැවැත්වෙන්නේ නැති බව කියන, අනාගතයට පමණක් වලංගු වන බව කියන, තවමත් නෛතිකව වලංගු නොවූ සම්මුතියක් සහිතව සිටින මොහොතක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නියෝජිතයන් රාජ්‍ය අවසරය සහිතව රටේ සන්නද්ධ බුද්ධි බළකාය, විශේෂ කාර්ය බළකාය, ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බළකාය ස්ථාපිත කඳවුරුවලට වැදී අවි ගබඩාත් පරීක්ෂා කරන්නේය. ත්‍රිකුණාමලය මුළු නාවික හමුදා කඳවුරු පරිශ්‍රයම විමර්ශන භූමියක් කරන්නේය. රටේ ආරක්ෂක හමුදා විනිශ්චයට ලක් කරන්නේය. මේ කණ්ඩායම රට තුළ සිටින අවස්ථාවේදී අතුරුදන් කිරීමේ සිදුවීමකට සැක පිට අත්අඩංගුවට ගෙන සිටින, නිශ්චිත අපරාධ චෝදනාවකට ලක් නොවන බව අධිකරණයට ගොනුකළ නෛතික වාර්තාවලින් තහවුරු කරන කොමදෝරු ඩී.කේ.පී. දසනායක හා කපිතාන් සුමිත් රණසිංහ ඇතුළු නාවික හමුදා නිලධාරීන්ගේ ඇප අයැදුම්පත් විමර්ශනය සඳහා ඇති අවස්ථාව පවා අහේතුකව මඟහරිමින් සිටින්නේය. මේ මානව හිමිකම් නිලධාරීන් රටින් පිටවනතුරු ඩී.කේ.පී. ලා ගේ ඇප අයැදුම්පත් විමර්ශනය සඳහාවත් සලකා නොබලන බව පැහැදිලි වෙමින් තිබෙන්නේය.

අප ප්‍රශ්න කරන්නේ එක්සත් ජාතීන් හා බැඳුණු මෙම මානව හිමිකම් ප්‍රඥප්තිය සම්බන්ධව නොව, රටේ පොදු නීතියටත් වලංගු නැතිව ලෝකය අබියස රටක් ලෙස අප ප්‍රකට කරමින් සිටිනා බෙලහීන ස්වරූපය ගැනය. බිය උපදින්නේ එම ප්‍රඥප්තියේ වගන්ති ගැන නොව, රට පිළිබඳ තීරණාත්මක මොහොතකදී පාලකයන් ප්‍රකට කරන පෞරුෂ රහිත හැසිරීම ගැනය. වේදනාව අප අප ගැන සහතිකයක් නැති අනාරක්ෂිත මිනිසුන් බව ලෝකය ඉදිරියේ පෙන්වමින් සිටීමය.

රුචිර ජයදේව

Copyright © 2017 LNW TODAYThemetf

To Top