විශේෂාංග

අර්ජුන කියන කෙටි පණිවුඩකරුවන් කවු ද? තෙල වැඩි කාට ද? පත්තර කියවීමෙන් පසු මෛත්‍රිපාල පූර්ණ බලතල සහිත ජනාධිපති කොමිසමක් පත් කරනවා ද?

මෙරට ජනමධ්‍යවල මෙතරම් දක්‍ෂ විචක්‍ෂණශීලී විචාරශීලි බුද්ධිමතුන් සිටිය දී මෙරට මෙතරම් ප්‍රශ්න තියෙන්නේ ඇයි ද කියන එකත් ප්‍රශ්නයක්. ජනමාධ්‍යවේදීන් කියාවි ඔවුන් ඉදිරිපත් කරන විසඳුම් ක්‍රියාත්මක කිරීමට කිසිවකු නැති බව. ඒකත් ඇත්ත. ඒත් ඒ අය ඉදිරිපත් කරන විසඳුම් ගැන කියන්න පුළුවන් මොනවා ද? මේ කාට හරි කියන්න පුළුවන් ද නිදහස් අධ්‍යාපනය කියන්නෙ මොකක් ද කියලා. ඒත් සයිටම් ගැන ඒ අය කතා කරන්නෙ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය හා සයිටම් අතර වෙනසවත් දැනගෙන ද? මේ ගැන තව දුරටත් කතා කරන එකට මහින්දවාදීන් හා ව්‍යාජ සමාජවාදීන් කැමති නැහැ.

ඒ මොකක් වුණත් මෙරට ජනමාධ්‍යවේදීන් තවමත් සමත් වෙලා නැහැ තෙල් ප්‍රශ්නය ජනාධිපතිට සංනිවේදනය කිරීමට. තාමත් ජනාධිපති තෙල් ප්‍රශ්නයක් ගැන පත්තරේක කියවලා නැතිව වෙන්න ඕන. ජනාධිපති තියා අගමැතිවත් ඒ ගැන දන්නෙ නැති පාටයි. රනිල් ඒ ගැන දැන ගත්ත නම් තෙල් ප්‍රශ්නයට ණයබර හේතු වුණු හැටි යස අගේට විස්තර කරාවි. අර තිරිකුණාමලේ තෙල් ටැංකි ටික ඉන්දියාවට බදු දුන්නෙ මොන ණය බරින් මිදෙන්න ද කියලා ඒ දවස්වල කියන්න රනිල් ඉදිරිපත් නුණෙ අපේ ම අවාසනාවට.

තෙල් ප්‍රශ්නයට හේතු ගණනාවක් ම තියෙනවා. අර්ජුන කියන කෙටි පණිවුඩකරුවන් කවු ද? තෙල් හිඟයක් ඇති බවට ඔවුන් රට ම දැනුවත් කිරීමට කටයුතු කෙළේ ක්‍රිකට් පරාජය වසා ගන්න ද? අද තෙල් ක්‍රිකට් අතර මහා සංග්‍රාමයක් ඇති වෙලා. අපට පෞද්ගලික ප්‍රශ්න වැදගත්. බටහිරයන්ගෙන් අප අරගෙන තියෙන්නෙ පෞද්ගලිකත්වය ඉස්මතු කිරීම පමණයි. ඒත් ප්‍රතිවාදියාගේ පෞද්ගලිකත්වය තුට්ටු දෙකකට මායිම් නොකර. කෙටි පණිවුඩකරුවන් ප්‍රශ්නය අවුල් කර ඇති බව ඇත්ත. ඒත් අවුලට තවත් හේතු තියෙනවා.

අප වැඩ කරන්නෙ ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට. අපට සැලැස්මක් නැහැ. බොහෝ විට තීරණ ගැනෙන්නෙ ප්‍රශ්නය හරි හැටි අධ්‍යයනය නොකර. තෙල් ප්‍රශ්නය ගැන මට පූර්ණ අවබෝධයක් නැහැ. එසේ නොමැති ව ප්‍රශ්නය ගැන කතා කරන එකත් වැරදියි. අනෙක් අතට ප්‍රශ්නය ගැන කතා කරන කී දෙනකුට ඒ පිළිබඳ පූර්ණ අවබෝධයක් තියෙනවා ද? ප්‍රමිතියකින් තොර පෙට්‍රල් ගෙන ආ නැව පිළිබඳ ව අද කවුරත් දන්නවා. එය මේ ලියන විටත් තිරිකුණාමල වරායේ පිට ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඇමති අර්ජුනට කර ඇති බලපෑම් ගැනත් කවුරුත් දන්නවා. බලපෑම් කෙරුවෙ කවු ද කියන එක අර්ජුන කියන්නෙ නැහැ. ජනමාධ්‍ය පඬියන් කිව්වට ඒ කරුණු ප්‍රසිද්ධියේ කියන්නෙ නැහැ.

අපට මූලික ව ඇත්තේ තෙල් ගබඩා කර ගැනීම පිළිබඳ ප්‍රශ්නයක්. එය වටා විවිධ අක්‍රමිකතා වෙනවා ඇති. බලපෑම් කොමිස් ආදිය නැත්නම් තමයි ප්‍රශ්නය. එහෙත් මූලික ප්‍රශ්නය ගබඩා කිරීම. මා ගණන් හිලවු දන්න අයෙක් නො වෙයි. එයට දක්‍ෂ අය ඉන්නවා. මට තේරෙන විධියට අපට ගබඩා කර ගත හැක්කේ නැවක් ඒමට ගතවන කාලයට සරිලන කාලයකට. එය මෙට්‍රික් ටොන් මෙපමණය ආදී වශයෙන් කියන්න පුළුවන් අය ඇති. නැවක් පමා වුවත් අපට ප්‍රශ්නයක් නැති වන ආකාරයට තෙල් බෙදා හරින්න පුළුවන්. අප කටයුතු කරන්නේ එදා වේල සැලැස්ම අනුව. ගෙවල්වල මෙන් ම රටේත් කටයුතු බොහෝ විට සිද්ධ වන්නේ එදා වේල ක්‍රමය අනුව.

නැවක් ප්‍රමාද වුවත් අල්ල ගෙන යන්න පුළුවන් වුණත් නැව් දෙකක් එක දිගට නොපැමිණියහොත් (ඒ තෙල් අපට නොලැබුණහොත්) අප අමාරුවේ වැටෙනවා. මෙවර සිදු වී ඇත්තේ නැව් දෙකක ප්‍රශ්නයක්. අපට තෙල් ගෙන ඒමට නියමිත ව තිබූ නැවක් ප්‍රමාද වී ඇති අතර ඉන්දියානු තෙල් සමාගම ගෙන්වූ නැවක ප්‍රමිතියෙන් බාල තෙල් තිබිලා. නැව් දෙකේ ම තෙල් අපට නැහැ. ඉන්දියානු සමාගම ඒ බාල තෙල් ටික අපට විකුණන්න සූදානම් වෙලා තියෙන්නෙ මහා සට කපට විධියට. ඔවුන් අපට ඩීසල් තොගයකුත් ගන්න බලපෑම් කළ බවයි අර්ජුන කියන්නෙ. මේ සියල්ල සොයා බැලීමට පත්තර කියවීමෙන් පසු මෛත්‍රිපාල පූර්ණ බලතල සහිත ජනාධිපති කොමිසමක් පත් කරනවා ද? නැත්නම් රනිල්ගෙ සූසැට බර ගැන කියන්න තවත් ඉඩ දෙනවා ද?

නැව් දෙකක තෙල් එක දිගට අපට මොන යම් කාරණා මත වුවත් අහිමි වුණොත් අප අමාරුවේ වැටෙන බව පැහැදිලියි. අඩුම තරමෙන් මාසයකටවත් තෙල් ගබඩා කර ගන්න අපට බැරි නම් අප වෙනුවෙන් අපත් නැහැ. දැන් තිරිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට බදු දීලා. අප තෙල් ගබඩා කරන්නේ කොහේ ද? හම්බන්තොට තෙල් ගබඩා නැහැ. කොහොමටත් දැන් එය චීනයට බදු දීලා. ඒ බදු දීම විකිණීමක් වගේ. මත්තලත් ඉන්දියාවට විකුණන්න යනවා. කටුනායකත් කොළඹ වරායත් කාට හරි විකුණා දමමු.

අප අනෙක් රටවල් සමග බැඳී ඇතැයි කියන්නෙ ම පඬියන්. අප අනෙක් රටවල් සමග මූලික වශයෙන් බැඳෙන්නෙ ගුවන් තොටුපළ වරාය මගින්. එයට අමතර ව අද නම් විද්‍යුත් චුම්බක තරංග මගින්. වරාය ගුවන් තොටුපළ පාලනය විදේශිකයන් අතට පත් කරන ගොන් රැළක් වෙනත් රටක දැක ගත හැකි ද? පඬියන් ඒ බැඳීම් ගැන කියන්නෙ කුමක් ද? තෙල් ප්‍රශ්නයෙන් පැහැදිලි වෙන ප්‍රධාන ම කාරණය තමයි ඉන්දියාවට අපේ ආර්ථිකය හැසිරවීමට ඇති හැකියාව. අප එදා වේල ක්‍රමයට ක්‍රියා කරන අතර ඉන්දියාව හා චීනය දිර්ඝ කාලින සැලසුම් සහිත ව ක්‍රියා කරනවා.

මේ කරුණු පදනම් කරගෙන තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන නැවත හිතා බැලීමට, චීනය හා ඉන්දියාව සමග ඇති කරන වෙළෙඳ ගිවිසුම් ගැන නැවත සොයා බැලීමට ආණ්ඩුව පෙළඹේවි කියා හිතන්න බැහැ. අද හිතන්න වෙලා තියෙන්නෙ මේ නිවට ආණ්ඩුව වෙනුවට ජාතිප්‍රේමී ආණ්ඩුවක් ඇති කර ගන්නා තෙක් රට පවත්වා ගෙන යන්නේ කොහොමද කියන එක.

 

නලින් ද සිල්වා

2017 නොවැම්බර් 07

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copyright © 2017 LNW TODAYThemetf

To Top