විශේෂාංග

දයාන්ලා නොදන්නා දේශපාලනය…..

ඉංගිරිසියෙන් ලියන ඇතැමුන් දැන් නැවතත් හෙළිදරවු වෙමින් පවතිනවා. ඔවුන් ගැන එදත් අප නම් විශ්වාස කළේ නැහැ. ඇතැම් ජාතිකවාදීන් යැයි කියා ගන්නා අය මේ අදහස් සිංහලෙන් ලියනවා. තම දේශපාලන අභිමතාර්ථ මුදුන්පත් කර ගැනීමට ජාතිකත්වය යොදා ගන්නා අය ජාතිකවාදීන් නො වෙයි. චම්පක ජාතිකවාදියකු යැයි කියන අය අදත් ඉන්නවා ද? ඔහු කරණමක් ගසා නැවතත් සිංහල බෞද්ධයන් රවටන්න පුළුවන්. එහෙත් මේ රැවටීම වැඩි කලක් කරගෙන යන්න බැහැ.

ඉංගිරිසි උගත් ඇතැමුන් සියල්ල දකින්නේ බටහිරයන්ගේ ඇසින් ඒ අය ලිබරල්වාදීන් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් ඊනියා සමාජවාදීන් වෙන්න පුළුවන්. ඒත් මේ දෙගොල්ලොම එක වල්ලෙ පොල්. ඔවුන්ට කණ්නාඩි ලැබෙන්නෙ බටහිරින්. ලිබරල්වාදීන් බොහෝ විට එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති, ඊනියා ජාත්‍යන්තර නීති උපයෝගි කර ගෙන ලෝකය දිහා බලනවා. ඊනියා සමාජවාදීන් කවුරු හරි මාක්ස්වාදියකු ලියා ඇති ව්‍යාජයක් කියවලා ඒ අනුව ලෝකෙ දිහා බලනවා.

අපේ යටත්විජිත විරෝධී දේශපාලන අරගලය මේ අයට තේරෙන්නේ නැහැ. මොවුන් බොහෝ විට ක්‍රිස්තියානි පසුබිමක් සහිත අය. අපේ යටත්විජිත විරෝධී අරගලය ක්‍රිස්තියානි (දේව ධර්මය නොව සංස්කෘතිය) විරෝධී එකක් වීමත් එය ආගමික මුහුණුවරක් ගැනීමත් ක්‍රිස්තියානි පසුබිමක් ඇති දයාන්ලා ඩිලාන්ලා ඉරාන්ලාට පමණක් නොව ඒ සංස්කෘතියේ රනිල්ලාටත් තේරෙන්නේ නැහැ. 1815 ගිවිසුමේත් බුද්ධාගම හා දේවාගම රකින බවට ඉංගිරිසින් පොරොන්දු වුණා. එයත් ආගමික ඉල්ලීමක් හා පොරොන්දුවක් වුණා. මතක තබා ගන්න 1505 සිට ම අපේ යටත්විජිත අරගලය ආගමික වුණා. 1817 1848 ගැන කතාකරන දයාන්ලාට එහි ආගමික ස්වරුපය හා භික්‍ෂූන් වහන්සේගේ සහභාගීත්වය තේරෙන්නේ නැහැ.

දහනවවැනි සියවසේ අග මේ අරගලය තව තවත් ආගමික වුණා. ඇංග්ලිකන් ක්‍රිස්තියානි හා මැතෝදිස්ත පූජකයන් බුදුදහමට (ආගමට පමණක් නොව) අපහාස කළා. පහර දුන්නා. ඉංගිරිසින් දෙමළ මුස්ලිම් ජනවාර්ගිකයන් සිංහල බෞද්ධයනට විරදේධ ව යොදා ගත්තා. ඉංගිරිසින් යටතේ පාණදුරේ වැනි ප්‍රදේශවල ඔවුන්ගේ ආර්ථික රටාවේ ධනවතුන් බිහි වී සිටියත් ඔවුන් තම ආගම වෙනස් කෙළේ නැහැ. එයින් කියන්නේ ආගම වෙනස් කළ අය නොසිටි බව නො වේ. පෘතුගීසීන් යටතේ කතෝලික වී ලන්දේසින් යටතේ රෙපරමාදු වී ඉංගිරිසින් යටතේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි වූ පවුල් මෙරට හිටියා, ඉන්නවා. ඇංග්ලිකන් ක්‍රිස්තියානි හා මැතෝදිස්ත පූජකයන් බුදුදහමට අපහාස කරද්දී සිංහල බෞද්ධයන් කට පියාගෙන සිටියේ නැහැ. පංච මහා වාද එහි ප්‍රතිඵලයක්. පංච මහා වාද ද යටත්විජිිත විරෝධී අරගලයේ කොටසක්. එහි ක්‍රිස්තියානි විරෝධයක් තිබුණා.

අනගාරික ධර්මපාලතුමා හා ඕල්කට්තුමා අතර මූලික වෙනස මේ ක්‍රිස්තියානි විරෝධය නිසා පැන නැගුණක්. ඕල්කට්තුමා ක්‍රිස්තියානි විරෝධියෙක් වුණේ නැහැ. ඔහු ඇමරිකන් එක්සත් රාජ්‍යවල (ඇමරිකන් ඔරිමත්තුනාඩුවෙ) ප්‍රොතෙස්තන්තවාදියෙක්. බටහිර විද්‍යාව පැතිර යෑමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රොතෙස්තන්තවාදයේ ආධ්‍යාත්මික පැත්තේ අඩුවක් වුණා. එහි දී ඕල්කට්තුමා වැනි ඇතැමුන් ඒ අඩුව පිරවීමට බුද්ධාගමට හා හින්දු ආගමට හුරු වුණා. එහි දී ඔවුන්ට බ්ලැවට්ස්කි මැතිණිය වැනි නැගෙනහිර යුරෝපීය ආධ්‍යත්මිකවාදීන්ගේ සහාය ලැබුණා. ඔවුන් පරම විඥානයක් ගැන විශ්වාස කළා. එය වඩාත් සමීප වෛදික ආගම්වලට. ඔවුන් නිව්යෝක්හි පරම විඥානාර්ථ සංගමයක් පිහිටුවා ගත්තා. ආසියාවේ ඔවුන්ගේ මධ්‍යස්ථානය වූයේ ලංකාව නොව ඉන්දියාව. ඉන්දියාවේ අද්යාර් ප්‍රදේශයේ ඔවුන් පරමවිඥානාර්ථ සංගමයේ ශාඛාවක් පිහිටුවා ගත්තා. ඔවුන් පසුව ලංකාවටත් ආවා.

ඕල්කට්තුමාගේ ක්‍රිස්තියානි විරෝධයක් තිබුණේ නැහැ. ඔහු මූලික වශයෙන් ප්‍රොතෙස්තන්තවාදියෙක්. ඔහු බටහිර විද්‍යාව නිසා සිදු වූ ක්‍රිස්තියානි ආගමික ආධ්‍යාත්මික ඌනතාව ආසියාතික ආගම්වලින් පුරවා ගත් අයෙක්. ඔහු බුද්ධාගම ගැන මෙන් ම හින්දු ආගම ගැනත් උනනන්දුවක් දැක් වූවා. ඔහු බටහිර විද්‍යාවට විරුද්ධ වුණෙත් නැහැ. ඔවුන්ට තිබුණෙ බටහිර විද්‍යාව හා ප්‍රොතෙස්තන්තවාදය මිශ්‍ර කර ගැනීමට ප්‍රවාදයක් තනාගැනීමට නොහැකිවීම. ඔවුන් දැන සිටියේ නැහැ ප්‍රොතෙස්තන්තවාදය හා බටහිර විද්‍යාව එකම චින්තනයකින් පැන නැගුණ බව. ඕල්කට්තුමා කිසිම ලෙසකින්වත් යටත්විජිත විරෝධියෙක් වුණේ නැහැ. අදත් ඕල්කට් බෞද්ධයන්ගේ ඒ ගතිය තියෙනවා. අද ඇතැම් සිංහල බෞද්ධයනටත් දෙමළ ජාතිවාදය ඉංගිරිසින්ගේ හා අනෙක් බටහිරයන්ගේ නිර්මාණයක් බව තේරෙන්නේ නැත්තේ ඔවුන්ගේ යටත්විජිතවාද විරෝධය ඕල්කට් බුද්ධාගමෙන් පීලි පන්නා ඇති නිසා.

ධර්මපාලතුමා මූලික වශයෙන් ක්‍රිස්තියානි විරෝධියෙක්. ඉන් කියැවෙන්නේ එතුමා බයිබලයට විරුද්ධ වූ බවක් නො වේ. ධර්මපාලතුමා ක්‍රිස්තියානි පාලකයන්ගේ බෞද්ධ විරෝධී කටයුතුවලට මුළුමනින් ම විරුද්ධ වුණා. මේ විරෝධය යටත්විජිත විරෝධයක්. එය බටහිරින් ඉගෙන ගත් දයාන්ලාට, ගණනාථලාට, උයන්ගොඩලාට, නිව්ටන් ගුණසිංහලාට තේරුම් ගන්න බැරි වුණා. දහනවවැනි සියවසේ අග භාගයේ සිට සිංහල බෞද්ධ යටත්විජිත විරෝධී අරගලය ක්‍රමයෙන් ප්‍රභූවරුන්ගෙන් සාමාන්‍ය ජනයා අතට පත්වුණා. 1956 දී සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගය දක්වා විකාශය වූයේ එයයි. එ ජා පක්‍ෂය ප්‍රභූවරුන්ගේ පක්‍ෂයක්. එය ක්‍රිස්තියානි සංස්කෘතියේ පක්‍ෂයක්. චන්ද්‍රිකා වැන්නන් ද ක්‍රිස්තියානි සංස්කෘතියේ. ඇය ආඩම්බර වන්නේ තම දෙමව්පීයන් ගැන නොව ක්‍රිස්තියානි සීයා ගැනයි.

ඉංගිරිසින් මෙරට දෙමළ ජාතිවාදය බෞතීස්ම කෙළේ 1833 දී. 1833 දී ඔවුන් ජනවර්ග පදනම මත දේශපාලනයක් හඳුන්වා දුන්නා. එය දයාන්ලා අමතක කරනවා. මේ ජනවාර්ගිකවාදී දේශපාලනය අනුව ව්‍යවස්ථාදායක සභාවට මන්ත්‍රීන් පත් කෙරණේ ජනවාර්ගික පදනමකින්. එපමණක් නොව එහි දී සිංහලයන්ට අසාධාරණයක් ද කළා. සිංහල ජනගහන ප්‍රතිශතය හැත්තෑපහක් පමණ වුව ද දෙමළ කතාකරන ප්‍රතිශතය ව්ස්සකට අඩු වුව ද සිංහල ඉතිහාසය අවුරුදු දෙදහස් ගණනක් වුව ද මුස්ලිම් ඉතිහාසය දහහතරවැනි සියවසෙන් ඈතට නොගිය ද වෙල්ලාලයන් මෙරටට ආනයනය කෙරුණේ දහහත්වැනි සියවසේ වුව ද ඉංගිරිසින් ව්‍යවස්ථාදායක සභාවට සිංහලයන් වෙනුවෙන් එක් අයකු ද දෙමළ කතා කරන අය වෙනුවෙන් එක් අයකු ද පත් කරමින් සිංහලයන්ට අසාධාරණයක් කළා. සිංහලයන් වෙනුවෙන් සිංහල බෞද්ධයකු පත් කෙළෙත් නැහැ.

මේ ජනවාර්ගික දේශපාලනය ගැන ඩොනමෝර් කොමසාරිස්වරු සඳහන් කර තිබෙනවා. දයාන්ලාගේ ම අය ඒ ගැන පොතපත ලියා තියෙනවා. එහෙත් දයාන්ට ඒ බව අමතක වෙනවා. ඉංගිරිසින් පොන්නම්බලම් කුමාරස්වාමි පවුල ලංකාවේ ප්‍රධාන පවුල කර සිංහල බෞද්ධයන්ට එරෙහිව ජනවාර්ගික දේශපාලනයක් හඳුන්වා දුන්නා. අදත් ජනවාර්ගිකයන්ගේ පක්‍ෂ ඒ ඒ ආගමිකයන්ට ජනවර්ගවලට සීමා වෙලා. ජාතික හෙළ උරුමය වැනි තක්කඩි පක්‍ෂයක් හැර වෙනත් ඊනියා සිංහල පක්‍ෂයක් තිබී නැහැ. මෙරට ජාතිවාදීන් කවුද යන්නත් ඔවුන් බිහිවූයේ කෙසේ ද යන්නත් දයාන් තම අවශ්‍යතාව අනුව පහසුවෙන් අමතක කරනවා.

නලින් ද සිල්වා

2017 ඔක්තෝම්බර් 29

1 Comment

Copyright © 2017 LNW TODAYThemetf

To Top