Featured

දසුන්ගේ සහ ශලනි,ඇමතිට ඒඩ්ස්,මෛත්‍රී සීයා සමග ආත්මගත බැඳීම් ඇති දැරියන් සහ හරවා එල්ල කරන කණේ පහර

ශ්‍රී ලංකාවේ වැස්ස හා නියඟය මාරුවෙන් මාරුවට රට කළඹවා දමන්නාක් මෙන්, විවිධාකාරයේ මිනිස් ලේ ධාතුව කුපිත කරවන වර්ගයේ පුවත් විසින් දේශපාලනික වායුගෝලයද කළඹවා ලයි. මේ දිනවල මෙසේ කතාබහට වඩාත්ම ලක්වූ කාරණා නම්, මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට පවරා දීමට එරෙහිව පැවති විරෝධතාවකදී සහකාර පොලිස් අධිකාරීවරයෙකු විසින් මාධ්‍යවේදියෙකුගේ කණට ගැසූ පුවතත්, පසුගිය ජනාධිපතිවරණයේදී ජයග්‍රහණයකල, හංසයා ලකුණ දරන පක්ෂයේ සභාපතිවරයාගේ පුරවැසිභාවය පිලිබඳ ප්‍රශ්නයත්ය.

එක අතකට මේ මාධ්‍යවේදීන්ගේ කණට ගැසීම යනු, ප්‍රධාන ප්‍රශ්නය යටපත් කිරීම උදෙසා රජය සතු හොඳම විසඳුම්වලින් එකක් බව පැහැදිලිය. 2016 දෙසැම්බරයේදී හම්බන්තොට, මාගම්පුර වරාය චීනයට 99 අවුරුදු බද්දකට පවරන්නට කටයුතුකල මොහොතේදී ඇතිවූ විරෝධතා රැල්ල මැදට කඩා පාත්වුනු නාවුක හමුදාපතිවරයා එතැන සිටි මාධ්‍යවේදියෙකුගේ කණට ගැසීය. ඉන් කඩි ගුලක් සේ ඇවිස්සී ගිය මාධ්‍ය ලෝකයම ඒ පසුපස එල්ලුන අතර මූලික ප්‍රශ්නය යටපත්ව ගියේය. සාමාන්‍ය ජනතාවට තොරතුරු දැනගත හැකි වනුයේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගිනි. ඉතින් රැයක් දහවලක් නැතිව මාධ්‍යයන් තුල මේ සිදුවීම ගැන පැවසෙත්දී, මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් පිලිබඳව රට පුරා විරෝධතා පැවැත්වෙත්දී ජනතා ඇස ගැටෙන්නට ඉතිරි වන්නේද එපමනය. ඊට පසුබිම් වූ කාරණාව වූ ජාතික සම්පත් විදේශිකයන්ට විකිණීම පිලිබඳ ඛේදවාචකය තව දුරටත් ජනතා ඇසට පෙනෙන්නට ඉඩක් එදා මාධ්‍ය තුල ඉතිරි වූයේ නැත. මේ තත්වය තුල රජය අපූරුවට චීන රජය සමග ගිවිසුම අත්සන්කර, තමන්ට අවශ්‍යව තිබූ දේ තම සිතැඟි පරිදිම ඉටුකර ගත්තේය. ඉන්පසු නාවුක හමුදාපති තම නිල නිවසට කැඳවූ අගමැති රනිල් වික්‍රමසිංහ ඔහුට නිර්ලෝභීව ස්තුති කලේ එම ගණුදෙනුව පහසු කරවීම පිනිස ඔහුගෙන් ලද අනගි සහාය පිලිබඳව විය යුතුය.

මෙසේ දේශීය සම්පත් විදේශිකයනට විකිණීම එක්සත් ජාතික පක්ෂයට අලුත් දෙයක් නොවේ. ශ්‍රී ලංකාව වැනි විවිධ ස්වභාවික සම්පතින් පිරුනු රටක, ඒ සම්පතින් ප්‍රයෝජන ගෙන ආර්ථිකය දියුණු කරනවා වෙනුවට, මොවුන් ලේසියට කරන්නේම ඒ සම්පත් කීයකට හෝ විකුණා දැමීමයි. 2015 ජනාධිපතිවරණයට පෙර මැතිවරණ වේදිකාවලදී රනිල් පැවසුවේ නම් හම්බන්තොට වරාය නැව්වලින් පුරවන බවය. මත්තල ගුවන් තොටුපල ගුවන් යානාවලින් පුරවන බවය. නමුත් මොහු දැන් ‘රටට එක ගුවන් තොටුපලකුයි, වරායකුයි තිබුනම මදැයි’ කියා සිතන්නාක් මෙනි. වෙනෙකක් තබා ඔහු මෙයට පෙර අගමැතිව සිටි 2001 – 2004 සමයේදී ලෝක උරුමයක් වූ සිංහරාජ වැසි වනාන්තරයද, එහි ඇති සියලු සත්ව හා ශාඛ සම්පත් සමගම දස වසරකට ඇමරිකාවට පවරා දෙන්නට උත්සාහ කලේ ඊට හිලවු වශයෙන් ඇමරිකාවට ශ්‍රී ලංකාව විසින් ගෙවන්නට තිබූ ණය මුදල් කපා හරින්නට එකඟ වූ නිසාය. එදා වාසනාවට ඒ ලිපි ගණුදෙනුව හෙලිදරවු වූයෙන්, පරිසරවේදීන්, මාධ්‍යවේදීන් හා විද්වතුන්ගේ විරෝධය නැගී ආයේය. එබැවින් රජයට සිදුවුනේ එම ගණුදෙනුව හකුලා ගැනීමටයි අනිත් අතට, සන්ධාන ජනාධිපතිවරියකුත්, එජාප අගමැතිවරයෙකුත් සිටි ඒ යුගයේ, වාසනාවට ඔවුන් අතර හොඳ මට්ටමේ සම්බන්ධයක්ද නොවීම එම ගණුදෙනුව සිදු නොවීමට තවත් හේතුවක් විය. රනිල් කවදත් අගමැති ලෙස කලේ ජනාධිපති නොසලකා හරිමින් තම සිතු මනාපයේ කටයුතු කිරීමයි. 2002 පෙබරවාරි 24 වනදා එල්ටීටීඊ සංවිධානය සමග අත්සන්කල අවබෝධතා ගිවිසුමත් එවැන්නකි. කෙසේ වුවද අද මෙන් එදා සන්ධානයත් එජාපයත් අතර යහපාලන දීගයක් නොවූයෙන් යන්තම් සිංහරාජ වනන්තරය බේරිනි.

දේශීය සම්පත් එකින් එක විදේශිකයන්ට විකුණන විට නිදහසට කරුණු ලෙස රනිල් පවසන්නේ ආර්ථිකයේ පවතින ණය බරයි. මේ ණය කවුරුන් වෙනුවෙන්ද? එය ජනතාව වෙනුවෙන් නම් ඔය කියන බිලියන ගණන් නිසා ජනතාව සුඛිත මුදිත වී සිටිය යුතුය. දැන් නම් රාජපක්ෂ රජය ගත් ණයය කියා සිතමු. 2002 දී සිංහරාජය විකුණා පියවන්නට ගියේ කවුරුන් ගත් ණයද? 77 දී එජාපය රට භාර ගන්නාවිට රටට ණය ප්‍රශ්නයක් නොතිබිනි. ඉන් පසුව කඩිනම් මහවැලියට, ජනසවියට හෝ වෙනත් ව්‍යාපෘතීන් වෙනුවෙන් ලබාගත් ණය ගැන සලකා බලත්දී, එසේ ලබාගත් මුදලින් ජනතාව සඳහා අපේක්ෂිත ප්‍රතිඵල කොපමන ලැබුනේද, ව්‍යාපෘතීන්හි පරිපාලන වියදම් ලෙස කොපමන මුදලක් වැය වුනිද යන කරුණුවල සැබෑ අනුපාතයන් තුල මේ ණය මුදලින් ඵල ලැබුවෝ කවුරුන්ද යන යතාර්ථය හෙලිදරව් වේ. අදද එදා තිබූ ණය පියවන්නට යයි පවසමින් මේ වසර දෙක හමාර තුල එමෙන් දෙතුන් ගුණයක් ණය ලබා ගත්තත් ඒත් මදිවී, රටේ ඇති සම්පත්ද එකින් එක විකුණා දමන්නේ තිබෙන ණය කෙලවර කර ජනතාව ණය බරින් නිදහස් කරන්නටය යන බොරුව ජනතාව හමුවේ පවසමිනි. දින වකවානු සහ ආර්ථිකයේ වෙනස්වීම් ගැන සලකන විට මේ ණය චක්‍රය ඇතිකලෝ කවුරුන්දැයි සිතා ගැනීමට අපහසු නැත.

අද දේශපාලන සම්බන්ධතාද සම්පූර්ණයෙන් වෙනස්ය. අගමැති තමන්ට වුවමනා අන්දමට රටේ පාලනය ගෙන යන අතර ජනාධිපති තම සිහින චාරිකාවල සැරිසරයි. මේ මෑතකදී වගා සංග්‍රාමය නමින් විකාරයක් කලේ රුපියල් කෝටි 8 ක් පමන වැය කරමිනි. පුරුදු පරිදි ඊට විශේෂයෙන් සැකසුන ටී ෂර්ට් එක හා කැප් තොප්පිය ඇඳ, නෙලුම් කොලේ ඇඹුල අනුභව කර, පොල් කට්ටේ කහටද, හකුරු සමග බොමින් දවස ගතකලේය. මේවා ජාතික උත්සව නොව ජාතික විහිලුය. කුඹුර මඩවන්නට බලාගෙන එහි යන්නේ හෙලිකොප්ටරයෙනි. අඩු තරමින් පොලවේ දූවිලි වලාවක්වත් නොවැදීය. මේවා සැබැවින්ම ජනාධිපති ඇතුලු මැති ඇමතිලාට ‘චේන්ජ් එකක්’ ගන්නට කරන ආතල් වැඩ මිස වෙන කිසිවක් නොවේ. වසර දෙක හමාරක් තිස්සේ සබීතාටත්, උපාලි ජයසිංහටත් ජාති ණයක් ගෙවමින් විනෝදයෙන් කල් යැවූ කෘෂිකර්ම ඇමතිට මෙතෙක් ගොවීන්ට බලපාන ප්‍රශ්න කිසිවක් නොපෙනී තිබුනත් හිටි අඩියේ වගා සංග්‍රාමයට අවතීර්ණ වූ පසු පෙනී ගොස් ඇත්තේ මහින්ද රාජපක්ෂ ගෙදර නිකම් සිටින බවයි. ඉතින් ඔහු මහින්දට කුඔුරු කොටන්නට ආරාධනා කරයි. අවාසනාවට අදද ඇමතිකම්වල වරප්‍රසාද භුක්ති විඳිමින් නිකම්ම පඩි කන බහුතරයක් වූ තම සහෝදර දේශපාලන නඩය ඔහුට අමතකය. අඩු තරමින් කුඹුර හාන්නටවත්!

ඊලඟට ‘වන රෝපා’ නම් තවත් උත්සවයක් පවත්වනු ලැබිනි. එහිදී ‘අද හැම තැනම වනය කපනව, පරිසරය විනාශ කරනව…’ ආදී වශයෙන් ජනාධිපති පවසන්නේ අපටයි. වනය කපන්නේ අප නොවේ. වල්පත්තුව කපා අරාබිකරයේ උදව්වෙන් ජනාවාස ඉදි කරන්නේ ඔහුගේම ඇමති මණ්ඩලයේ ප්‍රබලයකු වන රිෂාඩ් බදුර්දීන්ය. අනෙක පරිසරය විෂය ඇත්තේද ජනාධිපතිවරයා යටතේය. නැගෙනහිරද පුරාවස්තු කෙලෙසමින්, පරිසරය විනාශ කරමින් යකා නටන්නේ රජයට හිතැති දේශපාලකයන්ය. තමන් රැඳී සිටින සුලු ජාතික ඡන්ද පදනම බිඳ ගැන්මට අකමැති රජය මේවා නොදුටු ඇසින් සිටිනවා මදිවට නොයෙක් අපභ්‍රංස තේමා යටතේ නම් දමාගෙන උත්සව පවත්වමින් මහජන මුදල් කාබාසිනියා කරති. හැකි තරම් මුදල් ඉපයීමේ ආත්මාර්ථකාමී බවින් වියරු වැටුනු පාලන තන්ත්‍රයේ සිට විහිද ගිය ව්‍යූහය නිසා රට දැන් පිලිලයක් සැදී, පැතිරී දිරා යන වෘක්ෂයක් මෙනි.

මෙසේ දුර දිග නොබලා තම අත දිග හරියේ ඇති දේ තලු මරන්නට හුරුකල සමාජය තුල රනිල් වික්‍රමසිංහ ඇතුලු යහපාලන නඩයට තමන්ට කරන්නට අවශ්‍ය දේ සඳහා මග පාදා ගැනීම එතරම් අපහසු නොවේ. කණගාටුවට කරුණ නම් මේ සියලු දේශපාලකයන්, තමන්ගේම හත් මුතු පරම්පරාවේම අභිවෘද්ධිය සඳහා කිසිදු මැලිකමකින් තොරව ලබා ගන්නා ණය ගෙවීමට, එක්කෝ රටේ සමස්ත අනාගත පරපුරම සූදානම් විය යුතු වීමය. නැති නම් එම ණය බරෙහි නාමික කොටස් කරුවන් වීම වලකාලනු පිනිස, රටේ සුලුතරයකගේ සුවසෙත උදෙසා, තමන්ට උරුමය ඇති රටේ සම්පත් විකුණා දමන දෙස අරගලයකින් තොරව බලා සිටිය යුතු වීමය.

එදා හම්බන්තොට වරාය චීනයට පැවරීමේදී සිදවූ සිද්ධිය එතැනින් කෙලවර විය. උනුත් එකයි මුනුත් එකයි කියන ජනතා විමුක්ති පෙරමුණ මහ හඬින් එදා පැවසුවේ තමන් ජනවාරි මාසය උද්ඝෝෂණවලින් රත් කරන බවය. නමුත් ඒ කතාද නිකම්ම පුස්ස බින්දා සේ වූයේය. රත් වන්නට තබා ඒ සීතල දුරුත්තේ සීතල මැකෙන්නට උණුසුම් සුළං රැල්ලක්වත් හමා ගියේ නැත.

මත්තල විකිණීමද අලුත් කතාවක් නොවේ. පසුගිය ජුලි මාසයේදී හම්බන්තොට වරාය චීනයට පැවරීමේ ගිවිසුම සම්පූර්ණ කලදා පැවති උත්සවයේදී, තමන් මේ වසර අවසන් වන්නට ප්‍රථම මත්තල ගුවන් තොටුපල ගැනද තීරණයක් ගන්නා බව අගමැතිවරයා පැහැදිලිව කීවේය. හරි නම් විරෝධතාකරුවන්ට පාරට බසින්නට තිබුනේ එදාය. හැබැයි එදා ඒ කතාව මාධ්‍යයටවත් හරියට ඇසුනාද යන්න සැක සහිතය. ඒ අනුව තමන් යමක් පවසන්නේ ජනාධිපතිවරයා මෙන් නිකම්ම කටට ආවාට නොවන බව ඔප්පු කරමින් මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට පවරන කැබිනට් පත්‍රිකාවද අනුමත විනි. යලි කඩිගුලට උණු අලු වැටුනේ එවිටයි. ඉතින් රජයද තම සුපුරුදු, මාධ්‍යවේදියාගේ කණට ගැසීමේ ජවනිකාව රඟ දැක්වූයේය. වත්තල, කෙරවළපිටියට කසල බැහැර කිරීමේ සිද්ධියේදී, අමාත්‍ය ජෝන් අමරතුංග විසින් මාධ්‍යවේදියෙකුට සුද්ධ සිංහලෙන් බැණ වැදීමද මෙම නාට්‍යයේම තවත් එක කොටසකි. එදාද මාධ්‍යවේදීන් එම පුවතට මුල් තැන දෙත්දී, ඒ අනුසාරයෙන් ජනතාවටද කසල බැහැර කිරීමේ ඇති අක්‍රමවත් සහ පීඩාකාරී ස්රූපය අවධානයෙන් ගිලිහී ගියේය.

මේ සිද්ධිය ගැන රාජිත සේනාරත්න නම් සම කැබිනට් ප්‍රකාශකගෙන් ඇසූ විට ඇසිපිය ගසමින්, විරිත්තමින් ඔහු පවසන්නේ අමුතුම කතාවකි. ‘මාධ්‍යවේදියා අහිංසක නැත. ඔහු පෝස්ටරයක් අල්ලාගෙන සිටියේය. උද්ඝෝෂණයට සහභාගි විය. මහජන දේපලවලට හානි පැමිනවීම වරදකි’ පෝස්ටරයක් අල්ලාගෙන සිටීම නිසා මහජන දේපොලවලට හානි සිදුවනුයේ කෙසේද? අනික උද්ඝෝෂණයකට සහභාගි වූවා කියා ශාරීරික හිංසාවක් කරන්නට පොලිසියට බලයක් නැති බව මේ මහජන නියෝජිතයෝ නොදනිති. නැතිනම් නොදන්නා සේ හැසිරෙති. පොලිස් ඇමති පවා මෙයින් වෙනස් නොවේ. ඉඳහිට නීතීඥ කබායකින්ද පෙනී සිටින පොලිස් මාධ්‍ය ප්‍රකාශකයාද දරන අදහස මෙයයි. මේ එක අයෙකුටවත් වත්මන් යහපාලන රජයේ අගමැතිවරයා විසින් මහජන දේපොල, යලි පරම්පරා ගණනකට අහිමි වනසේ පිටරටුනට විකුණන ආකාරය අපරාධයක් ලෙස නොපෙනෙන්නේ ඇයි?

මාධ්‍යවේදීන් විසින් තමන්ගේ ගරුත්වය සහ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිය යුතු බව සැබෑය. නමුත් එතුල රටේ ප්‍රධාන ප්‍රශ්න යටපත්ව නොයාම කෙරෙහිද ඔවුන්ගේ අවධානය යොමුවිය යුතුය.

එදා ඒ පහර කෑ මාධ්‍යවේදියාට, අන්තරේ ළහිරුලාට වඩා සහස්‍ර ගුණයකින් අපරාධ කරන රජයේ මැති ඇමතිවරුන්ට අඬමින්, වඳිමින් මල්මාලා දමමින් ස්තෝත්‍ර ගායනා කරන්නට සැදී පැහැදී සිටින ජනතාවක්ද රටේ වෙසෙති.මේ අය මීට හේතු කාරණා වශයෙන් පවසන්නේ පසුගිය රජයේ ප්‍රබල ඇමතිවරුන්ට එරෙහිව මෙසේ ප්‍රශ්න කරන්නට ඉඩ නොලැබුන බවත්, අද රවි කරුණානායක වැනි ප්‍රබලයන් නීතිය ඉදිරියට ගෙන එන්නේ යහපාලනයේ හොඳකම නිසා බවත්ය. ජනතාව චන්දය දුන්නේ සොරකම නතර කිරීමට මිස සොරකම නීතිගත කිරීමට නොවේ. මන්ද මෙවන් පුද්ගලයන්ට එරෙහිව නඩු අැසුවා කියා වැඩක් ඇතිදැයි ජනතාවගේ දෑස් හමුවේ ඔප්පු වී ඇත.

අනික මෙවන් නීතිය ඉදිරියට ගෙන ඒමේ ක්‍රියාවලිය යට මොන මොන කතා සැඟවී ඇත්ද? අගමැති ජනාධිපති නොතකා ක්‍රියා කරයි. යහපාලන රජයේ පාර්ශවකරුවන් අතර ඇති ගැටුම් හිටිවනම කරලියට එයි. අගමැති රටේ නැති අතරවාරයේ රවි කරුණානායක විසින් එජාපයේ පසුපෙල මන්ත්‍රීවරුන් එක්රැස් කරමින් පැවැත්වූ වැඩමුලුවද ගැටලුවක්ව ඇත්තේ එජාපයටම ය. 2013 දී මංගල සමරවීරගේ කුරුඳු පොලු හමුදාව මගින් පහරදී අවසන් කෙරුනු එජාපයේ අභ්‍යන්තර කැරැල්ලද මෙවන් එකක් විය. එදා එම කැරැල්ලේ නිර්මාතෘ වූයේ සජිත් ප්‍රේමදාස ය. මේ මිනිසුන් මෙසේ එකිනෙකා මරාගෙන නායකත්වයට පැන ගන්නට දඟලන්නේ ජනතාවට ඇති ආදරය නිසා නම් නොවේ.

හංසයා ලකුණ දරන දේශපාලන පක්ෂයේ සභාපතිගේ අවංක භාවයත්, පුරවැසි භාවයත් පිලිබඳ කතාවද මේ දිනවල බෙහෙවින් කතාවට ලක්ව ඇත. හැබැයි කතාවට පමනකි. ක්‍රියාව ගැන විස්වාස නැත්තේ මැතිවරණ කොමසාරිස්වරයාගේ දැඩි පක්ෂග්‍රාහී වූ නිර්ලජ්ජිත ප්‍රතිපත්තිය නිසාය. මෑතකදී මැතිවරණ කල් දැමීම ගැන ප්‍රශ්නකල මාධ්‍යවේදීන්ට ඔහු බුරාගෙන පැන්නේය. ඔව්! 205 ජනවාරි 8 වනදාට ප්‍රථම ඉතාම සාධාරණ පුද්ගලයෙකු සේ ජනතාව හමුවේ රඟපෑ ඔහු අද යහපාලන රජයේ මුරබල්ලා චරිතය ඉටු කරන්නේ කිසිදු හිරිකිතයකින් තොරවය. එබැවින් හෙට අනිද්දා මේ ශලීල මුණසිංහ නැමති හංසයා (වත්මන් ජනාධිපතිවරයා නියෝජනය කල පක්ෂය) පක්ෂ සභාපතිවරයාගේ නීත්‍යානුකූල භාවය ගැන විමසුවොත් ඔහුද මාධ්‍යවේදීන් හමුවේ දර්ශනයක් මවා ප්‍රශ්නය වෙන අතකට හැරවීමටද ඉඩ තිබේ.

දැන් මෙසේ රටේ අනාගතයට බලපාන ප්‍රශ්නවලට අමතරව ජනතාවට සිතන්නට තිබෙන බරපතල සිදුවීම්වලට දසුන්ගේ සහ ශලනි තාරකාගේ ප්‍රශ්නයටද, ඇමතිවරයෙකුගේ ඒඩ්ස් ප්‍රශ්නයටද අමතරව තවත් හොඳ මාතෘකාවක් ලැබී තිබේ. ඒ මෛත්‍රී සීයා සමග ආත්මගත බැඳීම් ඇති දැරියන් ඔහු වෙත පැමින පානා සුරතල්ය.

හැබැයි ඒ අතර රනිල් සීයාගේ රට විකුණන ගිවිසුම් නිසා මේ දැරියන් වැඩිහිටි වියට එලඹෙනවිට ඔවුනට පයගසා ඉන්නට ඔවුන්ගේය කියා කටක් ඇර කිව හැකි රටක් ඉතිරි වේදැ’යි මෛත්‍රී සීයාට මේ දරු සුරතල් අතර නිකමටවත් මතක්වනු ඇතිද?

 

තේජා ගොඩකන්දෙආරච්චි

Copyright © 2017 LNW TODAYThemetf

To Top