Featured

නීතිපති දෙපාර්තමේන්තුව රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පවා උල්ලංඝනය කරලා..මව් භාෂාවට කෙලවපු කෙලවිල්ල මෙන්න

ජාතිකත්වය ආවරණය කරමින් සිටින ඉංග්‍රීසි ගැති කඩතුරාව විනිවිද දැකීමට මව් භාෂා ප්‍රවර්ධන සංවිධානයට හැකි වෙයිද?(මාධ්‍ය සාකච්ජාව 2017 පෙබරවාරි මස 16 (ප.ව. 1.30 සිට 2.30 දක්වා) තුම්මුල්ල, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේ (4 වන මහල) – නීතීඥ අරුණ ලක්සිරි උණවටුන අදහස් දක්වමින්)

මහජන රාජ්‍ය සභාව විසින් පසුගියදා නිදහස් චතුරශ්‍රය, පුස්තකාලප්‍රලේඛනහා සේවා මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදීපවත්වන ලද පූජ්‍ය මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන්, පූජ්‍ය කිරම විමලජෝති හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලාද වෛද්‍ය වසන්ත බණ්ඩාර, ගුණදාස අමරසේකර, නීතීඥ සහ කථිකාචාර්ය රාජා ගුණවර්ධන, මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම ඇතුළු විද්වතුන් රැසක්ම සහභාගී වූ සාකච්ඡාවක දී මෙම ලිපිය ලියන කතෘ විසින් විජාතිකත්ව ප්‍රතිරෝධය ජයගැනීමට “මහජන රාජ්‍ය සභාව” ට හැකි වෙයිද? මැයෙන් වූ ලිපියක් මහජන රාජ්‍ය සභාවේ අවධානයට යොමු කරන ලදී. http://www.sinhala.lnwtoday.com/archives/13882

එකී ලිපියෙන් මතුකර ඇති කරුණුසුළු වශයෙන් හෝ වෙනස් නොකර “මව් භාෂා ප්‍රවර්ධන සංවිධානය” සම්බන්ධවද අදාල වන බව කිව යුතු වෙයි.

වර්ෂ 1815 සිට ලාංකිකයන්ගේ නිදහසේ නිර්ණායක අහිමි කර ගත් දා සිට වර්තමානය දක්වා අපට නිදහස සම්බන්ධව විවිධ මතවාද ඇති කරගන්නට සිදු වී තිබේ. නිදහස උදෙසා අනවරත අරගලයක නියැලී සිටින ජනතාව “මව් භාෂා ප්‍රවර්ධන සංවිධානය”සම්බන්ධව බලාපොරොත්තු සහගතව දෑස් යොමා සිටින බව පැහැදිලි වන්නේ මේ සංවිධානය වෙත එල්ලවන ජනතා පීඩනයේ තරම දෙස බලන විටය

රටක, ජාතියකමව්භාෂාවටහිමිඅසීමිතවටිනාකමසහවැදගත්කමකොතෙක්දයනුඑක්සත්ජාතීන්ගේසංවිධානයේයුනෙස්කෝව(UNESCO) විසින්වර්ෂ 2000 සිටසෑමවර්ෂයකමපෙබරවාරි 21වනදිනමව්භාෂාදිනයවශයෙන්පිළිගෙනඑයසැමරීමසිදුකරනුලබයි.

“මව් භාෂා ප්‍රවර්ධන සංවිධානය”විසින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර මව්භාෂා දින සැමරුම් උළෙල 2017 පෙබරවාරි මස 21 දින ප.ව.3.00 සිට 5.30 දක්වාතුම්මුල්ල, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී (4 වන මහල) පැවැත්වෙන අතර ඒ සම්බන්ධව මාධ්‍ය සාකච්ඡාවක් 2017.02.16 වැනි දින තුම්මුල්ල, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේපවත්වන ලදී. එකී මාධ්‍ය සාකච්ඡාවටමහාචාර්ය ඉදුරගාරේ ධම්මරතන හිමි, පූජ්‍ය කොටපොළ අමරකිත්ති හිමි, මානව විද්‍යාඥ පණ්ඩුල ඇදගම, විශේෂඥ වෛද්‍ය නන්ද විජේරත්න, අධි නීතීඥ ක්‍රිසන්ත නිස්සංක සහ මෙම ලිපියේ කතෘද සහභාගී විය.

එම මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ඉදුරගාරේ ධම්මරතන හිමියන් වෙනත්කරුණුඅතර අදහස් දක්වා සිටියේ,

ඕනෑම රටක ජීවනාලිය වන්නේ භාෂාව බවත්, ජාතික දේහයක හද ගැස්ම වන්නේ භාෂාව බවත් ය. යම් කිසි රටක් තවත් රටක් හෝ යම් කිසි ජාතියක් තවත් ජාතියක් හෝ ආක්‍රමණය කරන්නේ නම් පළමුව කළ යුත්තේ ජීවග්‍රහයෙන් භාෂාව අල්ලා ගැනීම බවයි.ඒ සදහා කරන උපක්‍රම දෙකක් තිබේ. මූලික වශයෙන්. ඒ තමයි පළමුවෙන්ම භාෂාව දූෂිත කිරීම. දෙවනුව භාෂාව අවභාවිතයට ලක්කිරීම. ඊළගට උපක්‍රමශීලීව භාෂාව භාවිතා කරන්නවුන් විසින් ම හෙලා තලා දැක්කවීම. ඉන් අනතුරු වෙනත් බසක් එහි රෝපනය කරවීම. මේක තමයි ස්වභාවය. ඒක හරියට සශ්‍රීක කුඹුරක් එහි තිබෙන අස්වැනු කපල,නෙලල ඉවර කරල අලුතින් මඩ කරල වෙනත් යමක් රෝපනය කරනව වගේ. අලුත් භෝගයක් රෝපණය කිරීමට පෙර ඉස්සර වෙලා තිබෙන භෝගය ඉවත් කළ යුතුයි.භාෂාව ආරක්ෂා කිරීම හුදෙක් භාෂාව ආරක්ෂා කිරීමක් නොවෙයි. සිංහල භාෂාව සිංහලයන්ගෙන් තොරකරල මේ රටේ මාතෘ භාෂාවේ ආරක්ෂාව අහිමිකරල තියෙනව. මව් භාෂාවට හිමි නෛතික ප්‍රවේශයන්, අධ්‍යාපනික ප්‍රවේශයන් පිළිබද සාකච්ඡා කිරීම සදහා ජාත්‍යන්තර මව් භාෂා දිනය වන රටේ ආරක්ෂාව ලබා ගැනීමයි. ඒ සදහා තමයි මව් භාෂාව ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ.භාෂාවේ ජවය, භාෂාවේ බලය, භාෂාවේ දේශපාලනය,භාෂාවේ අයිතිය මේ සියල්ලක්ම එක් රොක් කරගෙන භාෂාව ආරක්ෂා කර ගත යුතුයි. සම්පූර්ණ වීඩියෝව නැරඹීමට යොමු වන්න.https://www.youtube.com/watch?v=SONP6D3AWDw

පූජ්‍ය කොටපොළ අමරකිත්ති හිමියන් වෙනත් කරුණු අතර අදහස් දක්වා සිටියේ..අපේ මව් බස පිළිබද කිසියම් විදිහට අභිනනන්දන සන්ධිස්ථානයකට අප පැමිණ තිබෙනව.අපේ භාෂාවට කියන්නෙ සිංහල භාෂාව කියල. සිංහල භාෂාවේ පැරණි කම අපි බලංගොඩ මානවයා දක්වා අරගෙන ගියහොත් අවුරුදු 65000කට වැඩියි සිංහල භාෂාවේ පැරණි කම.යමක් පැරණි වෙන්න පැරණි වෙන්න ඒක සංවර්ධනය වෙන ලක්ෂණයක් තියෙනව.ඒ අනුව බලනකොට අවුරැදු 65000ක් තුළ සිංහල භාෂාව මෙන තරම් පුළුල් ලෙස වැඩී තිබෙයිද කියල  මෙනෙහි කිරීමට මේ හොදම කාලයයි.භාෂාව විතරක් නෙමෙයි මේ විදිහට වැඩෙන්නෙ.භාෂාවට අදාල සියල්ල.එය සාහිත්‍ය වෙන්න පුළුවන් එය ගායනය වෙන්න පුළුවන්.එය සන්නිවේදනය වෙන්න පුළුවන්.ඒ නිසා භාෂාවත් සමගම බොහෝ පැති වර්ධනය වෙනව. සම්පූර්ණ වීඩියෝව නැරඹීමට යොමු වන්න. https://www.youtube.com/watch?v=0XEe0i6s9ro&t=7s

ඒ අකාරයට විධිමත් ව සහ තාර්කිකව රටේ අනන්‍යතාවය සහ රටේ සංවර්ධනය සමග බද්ධ වී ඇති මව් භාෂාවේ වැදගත්කම මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී සකච්ඡා කෙරිණි.

ඒ සමගම මව් භාෂා ප්‍රවර්ධන සංවිධානය හමුවේ ඇති අභියෝගයද සුළු පටු නොවන බව ලංකාවේ ජනතාවගේ චින්තනයේ විවිධ පැතිකඩ අධ්‍යයනය කිරීමේදී පෙනී යයි.

ලංකාවේ අධ්‍යාපනය සකස් කර ඇති ආකාරය අනුව තව වසර කීයක් සිංහල බස ලොවේ පවතීද? යන්න ගැටළුවකි. ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන, විශ්ව විද්‍යාල, කාර්මික විද්‍යාල, වෘත්තීය පුහුණු ආයතන වලින් සිංහල බස බැහැර කරමින් පවතින බව විවාදයෙන් තොරය.මේ අකාරයට සිංහල බස අධ්‍යාපනයෙන් ඉවත් කරන්නේ ලංකාවේ භූමියෙන් සිංහල භාෂාව ඉවත් කර සිංහලය මළ බසක් කිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයේ අංගයක් ලෙසද? යන්න විමසිය යුතුය.

එදා ගිරා සංදේශය, ගණදෙවි හෑල්ල, වදන් කවි පොත, හීන්සැරය ලියූ හෙළ ගත්කතුවරුන් අද බෙහෙතකටවත් සොයාගත හැකිද? අද ඇත්තේ බටහිර විශ්ව විද්‍යාලවල ඉගැන්වීමට ඇලුම්කරන සිංහල භාෂා මහාචාර්යවරුන් සහ මහාචාර්යවරියන් බව පෙනී යන්නේ වැදගත් සිංහල ශාස්ත්‍රීය කෘති එළි නො දැක්වෙන හෙයිනි. සිංහල බසට මෙතෙක් හිමිවෙමින් තිබූ තැන නැවතත් අහිමි කරමින් පවතින බව විශ්ව විද්‍යාලවලින් සහ උසස් අධ්‍යාපන ආයතනවලින් සිංහල බස බැහැර කරන  ආකාරයෙන් පැහැදිලි වෙයි.

සිංහල බස මළ භාෂාවක් කිරීමට පිඹුරුපත් සකසන කුමන්ත්‍රණකරුවන්ගේ ඉලක්කය වන්නේ සිංහල භාවිතා කරන මිලියන 16ක් වූ ජනතාව ඉන් ඉවත්කර ඉංග්‍රීසියට මාරු කරවීමයි. සමාජයේ ඉහළ ස්තරයට ළගා විය හැක්කේ එසේ රූපනාතරණය කිරීමෙන් බව මේ කුමන්ත්‍රණකරුවෝ සිංහලයන්ට උගන්වති.

එහි අනිවාර්‍ය ප්‍රතිඵලය වන්නේ සිංහල භාෂාව දන්නා ජනතාවගේ සංඛ්‍යාව මිලියන 16 සිට ක්‍රමිකව අඩු වී එයිකාභාෂාව මළ බසක් වූ ආකාරයට සිංහලයද මළ බසක් වීමය. https://en.wikipedia.org/wiki/Marie_Smith_Jones

ප්‍රංශය, ජර්මනිය, ජපානය, චීනය වැනි රටවල් කිසි අවස්ථාවක තමන්ගේ මව් භාෂාවේ ඇති ජීවී ගුණය අත්හැර නො ගත් අතර එම රටවල් කිසි විට සිය භාෂාව වෙනත් රටක භාෂාවකට යටත් කර දුන්නේ නැත.මව් බස බැහැරකර අභිමානයෙන් ජීවත්වීමට ජපානය, චීනය, රුසියාව, ජර්මනිය හෝ ප්‍රංශය ක්‍රියාකර නැති බව මෙ රට සිටින උගත් යැයි කියන්නේ නො දනිති. එය සිංහල මව් බසේ අවාසනාව මිස වෙන දෙයක් නොවේ.

දියුණු යැයි සැළකෙනමහා-බ්‍රිතාන්‍යය,ප්‍රංශය,  ජපානය,කොරියාව,රුසියාව, චීනය, ඇමරිකාව,ඉතාලිය,සෞදිඅරාබියආදිරටවල් එම දියුණුවට ලගා වී ඇත්තේ අධ්‍යාපනය, පරිපාලනය, නිෂ්පාදන හා නෛතික කටයුතු තම මව් භාෂාවන්ගෙන් සිදුකර ගැනීමෙන් බව නො රහසකි. එමෙන්ම එකී දියුණු රටවල්  තම  රටේ ජනතාව වෙනත් රටවල නෛතික බලපෑම් වලින් ආරක්ෂාකරදී ඇත්තේ නීතියේ ස්වාධීනත්වය,නීතියේ සෛවරීත්වය සහ නීතියේ නිවහල් බව මගිනි. රටේ උපන් රට වැසියන්ගේ භාෂාවෙන් අධිකරණකටයුතු සිදුකිරීම සංවර්ධනයවූ රටවල ලක්ෂණයක්වීමද ,තමන්ගේ රටේ උපන් රට වැසියන්ගේ මව් භාෂාවෙන් නෛතික කටයුතු සිදු නොකිරීම සංවර්ධනය වෙමින් පවතින රටවල ලක්ෂණයක්වීමද මෙහිදී සැළකිල්ලට ලක්කළ යුතුය.

ජාතිකත්වය මත ඉතිහාසය, වර්තමානය සහ අනාගතය ගැළපීම

වර්ෂ 1815 දී උඩරට ගිවිසුම මගින් බ්‍රිතාන්‍යයන් සමස්ථ දිවයිනම නීතියෙන් ග්‍රහණයට ගනු ලැබීය. එතැන් පටන් මෙ රට ජනතාව ක්‍රමක්‍රමයෙන් බටහිර සිරිත් විරිත් සහ ඉංග්‍රීසි නීතිය අනුව සිය ජීවිත හැඩගස්සා ගනු ලැබීය. පෙරිදිග චින්තනයෙන් පෝෂිත වූ දේශිය ජන විඥාණය බටහිර චින්තනය විසින් ග්‍රහණයට ගෙන බටහිර චින්තනය අනුව දිවි ගෙවන සහ බටහිර දැණුම අනුකරණය කරන සමාජයක් බවට ලාංකීය සමාජය රූපාන්තරණය කරගනු ලැබීය.

මෙහි ප්‍රතිඵලය වූයේ මෙරට ජනතාව සිය ආහාර තමන් විසින් නිපදවා ගන්නවා වෙනුවට වෙනත් රටවලින් ආහාර ගෙන්වා ගන්නා තත්ත්වය තහවුරු කරගනු ලැබීමයි. බටහිර චින්තනය මෙරටට කාවද්දන පිරිස කෘෂිකාර්මික කටයුතු කළ පුද්ගලයන්ගේ අභිමානය අහිමි කළ අතර ගොවිතැනේ නියළුන වැඩිහිටියන්ගේ දරුවන් තවදුරටත් ගොවිතැනේ නියළී සිටීම අභිමානය කෙළෙසාගන්නා තත්ත්වයක් බවට ඒත්තු ගන්නවනු ලැබීය.

අද ලංකාවේ පවතින සෑම සමාජ ව්‍යාපාරයකම සිටින ප්‍රධානීන් මේ සමාජ ක්‍රමයේ නියාමනයෙන් බැහැර වීමේ නොහැකියාවට හසු වී ඇත. එහිදී මව් බස නිසි අභිමානයෙන් අධිකරණයේ, ව්‍යවස්ථාදානයේ සහ අධිකරණයේ යොදා ගන්නා පිරිස සීමිත වීම කෙරෙහි මේ සමාජ ව්‍යාපාර මේ දක්වා අවධානය යොමු කර නැත. දේශප්‍රේමය ගැන පමණක් හඩ නගා ප්‍රායෝගක ස්ථරයේදී වහල් ගැති යටත් විජිත මානසිකත්වයෙන් දිවි ගෙවීම මෙම ගැටළුව විසදීමේ ක්‍රමයක් නොවේ.

යටත්විජිත පාලනය තුළ නිදහස් චින්තනය බිද වැටීම

පෘතුග්‍රීසීන් ගෙන් පසු ලංදේසීන්ද ඉන්පසු ඉංග්‍රීසීන් විසින්ද ලංකාව යටත් කරගනු ලැබීය. ලංදේසීන් විසින් ලාංකිකයන් ( එවකට සිලෝන්/Ceylon) පාලනය කිරීම සදහා රෝම ලන්දේසි නීතිය හදුන්වා දුන් අතර ස්වදේශිකයන්ට ආගන්තුක වූ එම නීති ක්‍රමය බයිනෙත්තුවල බලය පෙන්වාබලහත්කාරයෙන් ස්වදේශිකයන් මත පටවනු ලැබීය. වර්ෂ 1815 දී කන්ද උඩරට ගිවිසුවෙන් පසු උඩරට පහතරට මුළු රට ම බ්‍රිතාන්‍යයේ කිරීටයට යටත් කරදීමට ජෝන් ඩොයිලි නම් විද්වත් ඔත්තුකරුට හැකි විය. ලංදේසීන්ගේ රෝම ලන්දේසි නීතිය සමග ඉංග්‍රීසි නීතියද යොදා ගනිමින් බ්‍රිතාන්‍යන් විසින්1972 වර්ෂය දක්වාම ලංකාව පාලනය කරන ලදී .

බටහිර චින්තනය මිස පෙරදිග චින්තනය ලාංකිකයන්ගේ මනස්වල දලුලා ලියලීමට රෝම ලන්දේසි නීතිය සමග ඉංග්‍රීසි නීතිය යොදා රට පාලනය කරන මෙරට සිටින ප්‍රධාන නීතී කණ්ඩායම් කිසිවිට අවස්ථාව හෝ අවසරය දෙනු නො ලැබීය. මෙහි ප්‍රතිඵලය වූයේ ලංකාව දේශපාලනික, සමාජමය සංස්කෘතිකමය, ආර්ථිකමය සහ අධ්‍යාපනමය වශයෙන් පරාධීන රටක් බවට පත් වීමයි.

නීතියේ හස්තයට යම් රටක් හසු කරගත් විට ඒ රට ට කිසිදා නිදහස (Freedom) අත් නොවේ. වර්ෂ 1948 දී බ්‍රිතාන්‍යයන් ලංකාවට නිදහස ලබා දුන්නද , වර්ෂ 1972 දී ලංකාව බ්‍රිතාන්‍යය කිරීටයෙන් සම්පූර්ණයෙන්ම මිදුණද බ්‍රිතාන්‍යයන් හදුන්වාදුන් නීතිය රට ට සහ ජනතාව ට ගැලපෙන ආකාරයට යොදා ගැනීම මේ දක්වා සිදචු නො වීය.එහි ප්‍රතිඵලය වූයේ ලෙනාර්ඩ් වුල්ෆ් ගේ The Village In The Jungle (බැද්දේගම ) කථාවේ එන සිලිදුලා, බබුන් ලා , පුංචි මැණිකෙලා , පුංචිරාළලා , හින්නිහාමිලා, ප්‍රනාන්දුලා , බබෝහාමිලා , මහේස්ත්‍රාත්ලා, අරච්චිලා, පෙරකදෝරුවන්ලා , රටේ මහත්තයාලා වර්තමානයේ ද අඩු නැතිව රටේ විසිරී සිටීම ය .

ලෙනාර්ඩ් වුල්ෆ් ගේ The Village In The Jungle (බැද්දේගම ) ලියන සමය සහ වර්තමානයේ දක්නට ඇති එක් වෙනසක් ඇත. එනම් ලෙනාර්ඩ් වුල්ෆ් ගේ The Village In The Jungle (බැද්දේගම ) ලියන සමයේ ලංකාව සෘජුවම බ්‍රිතාන්‍යයන් විසින් පාලනය කිරීමත් අද බ්‍රිතාන්‍යයේ නියෝජිතයන් ලෙස සිංහල සහ දෙමළ පුරවැසියන් විසින් ලංකාව පාලනය කිරීමත් සිදුවෙයි.

වර්ෂ 1948 දී සහ වර්ෂ 1972 දී ලංකාව යටත්විජිත භාවයෙන් නිදහස් කරගත් බවට පාලකයන් විසින් පුරසාරම් දෙඩූවත් වර්තමානයේ දී පාවා අධිකරණ කටයුතු සහ පරිපාලන කටයුතු සිදුකරන්නේ ලෙනාර්ඩ් වුල්ෆ් ගේ The Village In The Jungle (බැද්දේගම ) ලියන සමයේ පැවති ආකාරයටම ය. එනම් ලංකාවේ ඉහළම අධිකරණ නඩු විභාග කරන අධිකරණ භාෂාව නඩුවේ පාර්ශවකරුවන් නො දනිති . වර්තමානයේ පවා ලංකාවේ ඉහළම අධිකරණ වන වාණිජ මහාධිකරණය , පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණය , අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු විභාග කරන්නේ එදා ලෙනාර්ඩ් වුල්ෆ් ගේ The Village In The Jungle (බැද්දේගම ) ලියන සමයේ පැවති අධිකරණ ක්‍රමයටම ය .

විධායක , ව්‍යවස්ථාදායක සහ අධිකරණ යන පාලන ආයතන ත්‍රිත්වය හසුරුවනු ලබන පුද්ගලයන්ගේ නිදහස් සිතුවිලි එම රටේ නිදහසට උපරිම ශක්තියක් ඇති කරයි . ප්‍රංශය , ජර්මනිය , ජපානය , ඉතාලිය වැනි සංවර්ධිත රටවල පුරවැසියන් තමන්ගේ රටේ නිදහසේ මුදුන් මූලය අධිකරණ සහ නීති ක්‍රමය බව දනිති. අවබෝධ කර සිටිති.එම රටවල පුරවැසියන් විදේශීය රටවල නෛතික ප්‍රහාරවලින් ආරක්ෂා වී සිටින්නේ නිවහල් නීති ක්‍රමයන් හදුනාගෙන ඒවා නිසි පරිදි රටේ ආරක්ෂාවට උපයෝගී කරගන්නා හෙයිනි. එම රටවල් විදේශීය රටවල නෛතික ප්‍රහාරයෙන් තම රටේ ජනතාව නෛතිකව ආරක්ෂා කරගනු ලැබුවද ලංකාවේ එසේ නො වේ.

වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සාර්ථකත්වය රදා පවතිනු ඇත්තේ ද අනුකාරක උගතුන් විසින් මෙරට අධිකරණය සහ නීතිය පාලනය කරනක්‍රියාන්විතය හදුනාගෙන එය පාලනය කිරීමට දක්වන එඩිතරභාවය මතය.

ලෙනාර්ඩ් වුල්ෆ් ගේ The Village In The Jungle (බැද්දේගම ) ලියන සමයේ පැවති අධිකරණ ක්‍රමයට හසුවූ සිලිදුලා, බබුන් ලා , පුංචි මැණිකෙලා , පුංචිරාළලා , හින්නිහාමිලා, ප්‍රනාන්දුලා , බබෝහාමිලා , මහේස්ත්‍රාත්ලා ,අරච්චිලා , පෙරකදෝරුවන්ලා , රටේ මහත්තයාලාගෙන් තොර සංවර්ධනය වූ නිවහල් ලංකාවක් වෙනුවෙන් සිහින දකින පුරවැසියන් වහා ක්‍රියාකාරී වී නෛතික නිදහස ලබා ගැනීම සදහා වූ අරලගලයක නියලිය යුත්තේ රටේ නිදහස අධිකරණයේ සහ නීතියේ නිදහස බැවිනි. මහාවංශය ඉංග්‍රීසියට පරිවර්ථනය කිරීමට උත්සාහ කරන දේශපාලකයන් රටේ පවතින නීති සිංහලට පරිවර්ථනය නො කරයි. ලංකාවේ පවතින නීති සිංහලට පරිවර්ථනය කළ යුතු බව දැක්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23.4 ව්‍යවස්ථාව මේ දක්වා ක්‍රියාත්මක කර නො තිබීම සම්බන්ධව පුරවැසියන් අවධානය යෙමු කළ යුතුය. නොඑසේ නම් ජාත්‍යන්තර නීතිය නම් ආයුධයෙන් සහ ණය උගුලෙන් ලංකාවත් ,රණවිරුවන්ද තවතවත් සිරවෙනු ඇත.

දෙවන ලෝක යුද්ධයේ නියමුවන් වූ ජර්මනියත් ජපානයත් යළි පන්නරය වූයේ තමන්ගේ නිවහල් නීති පද්ධතිය හේතුවෙනි. ජර්මනියත් ජපානයේත් බ්‍රිතාන්‍ය (ලන්ඩන් ) නීතිවේදීන් ක්‍රියාත්මක වූයේ නම් එම රටවල් දෙකට වන විපත්තිය සිදුවනු ඇත. නමුත් වාසනාවට ජර්මනියේ සහ ජපානයේ බ්‍රිතාන්‍ය (ලන්ඩන්) නීතිවේදීන් ක්‍රියාත්මක නොවූ හෙයින් එම රටවල් අදත් අදීනව නැගී සිටී. ලංකාවද එය වහා තේරුම් ගත යුතුය.

තවත් උදාහරණ – වර්ෂ 1815 ඉංග්‍රීසීන්ට රට යටත් කරදීමෙන් පසු පෙරදිග නිදහස් චින්තනයක් මෙරට උපන් පුරවැසියන් වෙතින් බැහැර වූ බව විදහා දක්වන ප්‍රබල සාක්ෂි 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනතේ 27(iii) වගන්තියේ දැක්වෙන “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුතිය” විධිවිධාන ඔස්සේ පෙන්නුම් කෙරිණි.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත් කෙටුම්පත 2016.08.11 වැනි දින පාර්ලිමේන්තුවේ දී සම්මත කරගෙන ඇති අතර එහෙත් එකී පනත් කෙටුම්පතට අදාල 27.(iii) වගන්තියේ දැක්වෙන “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුතිය” ගැසට් පත්‍රයේ පළකිරීමක් හෝ පනත් කෙටුම්පතේ උපලේඛනයක් ලෙස ඇතුළත් කිරීමක් හෝ ගරුපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීම සිදු කර නැති වුවද, එකී පනත් කෙටුම්පතට ගරුකථානායකවරයා විසින් සිය අත්සන තැබීමෙන් පසු “ජාත්‍යන්තර සම්මුතියේ”ප්‍රතිපාදන රටේ වලංගු නීතියක් බවටද 2016.08.23 දින සිට පත් කරගෙන ඇත.

ඒකාබද්ධ විපක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, හෙළ උරුමය, ඉංලංකෙයි තමිල් අරසු කච්චි හී මන්ත්‍රීවරුන් කිසිවකු මේ “ජාත්‍යන්තර සම්මුතියේ” කුමක් සදහන් වේද? යන්න පිළිබද නිසි අවබෝධයකින් තොරව එය පිළිගෙන නීතියට ඇතුළත් කර තිබීම ජනතාවගේ අවාසනාව විය.

පාර්ලිමේන්තුවේ සිටින ජනතාවගේ නියෝජිතයන් තමන්ගේ වගකීම පිළිබද නිසි අවබෝධයෙන් තොරව කටයුතු කිරීම හේතුවෙන් අපි නොදන්නා, අප දැක නැති “ජාත්‍යන්තර සම්මුතියක්” නීති ගත වන අකාරය දුකසේ බලා සිටීමට ජනතාවට සිදු විය.

මව් බස සිංහලය වූ බහුතරයක් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මව් බස පාර්ලිමේන්තුව තුළ මේ අකාරයට අවභාවිතා කරන්නේ නම් කාට කියනු ද ඒ අමාරුව යන්න නැවත සිහි වෙයි.

මේ අවස්ථානුගත තත්ත්වයන් යටතේ “මව් භාෂා ප්‍රවර්ධන සංවිධානය”හමුවේ ඇති අභියෝග සුළුවෙන් තැකිය නොහැකි ය. ඒ අර්ථයෙන් ගත් විට පවා “මව් භාෂා ප්‍රවර්ධන සංවිධානය” බිහිවීම කාලීන අවශ්‍යතාවයක් සම්පූර්ණ කිරීමක් වෙයි.

සමාප්තිය

2017 පෙබරවාරි 21 දින ජාත්‍යන්තරමව් භාෂා දිනයේ දී නැවත සනාථ වන්නේ 1815 දී අපෙන් උදුරාගත් ඒ මව් භාෂා නිදහස මෙතෙක් රටේ ජනතාවට හිමි වී නැති බවත් සමාජයේ සිටින සුළු පිරිසක් විසින් ජනතාව නොමග යවමින්  විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ පාලන ක්‍රමයක නියළී සිටින බවත් ය.

බටහිර දිවි පැවැත්ම අගයන සමාජයක එහි නිස්සාරබව වටහාගෙන වැඩෙන“මව් භාෂා ප්‍රවර්ධන සංවිධානය” පෙරදිග චින්තනයෙන් පෝෂිතව අනුකාරක චින්තනය බැහරකර බුද්ධිමය සංවාදයෙන් සහ ප්‍රායෝගක ක්‍රියා පටිපාටියෙන් යුක්තවබලවන්ත විය යුතුය.ජනතාව වෙනසකට සූදානම් කරන බුද්ධිමය සංවාදයෙන් පෙරමුණේම ගමන් කිරීමට “මව් භාෂා ප්‍රවර්ධන සංවිධානය” කටයුතු කරන්නේ නම් සෙනෙහසෙන් එය වැළද ගැනීමට මෙරට නිදහස් අධ්‍යාපනයේ දරුවෝ සූදානමින් සිටිති.

ඒ සමගම විජාතිකත්වය දෝරේ ගලා යන ලාංකීය සමාජය මගින් එල්ල කරන ප්‍රතිරෝධය මැඩලීමට“මව් භාෂා ප්‍රවර්ධන සංවිධානය” ට හැකි වන්නේද යන්න එම සංවිධනයේ පෙරගමන්කරුවන්ගේ ජාතිකත්ව භාවිතාවය මතමතීරණය වනු ඇත. මව් භාෂා ප්‍රවර්ධන සංවිධානයේ අනාගතය තීරණය කරනු ඇත්තේ ජාතිකත්වය දෙසීම පමණක් නොව ජාතිකත්වය බුක්තිවිදීම තුළ බව අවබෝධ කිරීම වටී.

“ඔවා දෙනු පර හට – තමා සම්මතයේ පිහිටා සිට 

දුසිරිත දනන් දෙන – ඕවා වැද්දන් කියන බණ වැනි”

(තමා යහපත් යැයි සම්මත මාර්ගයේ පිහිටා සිට අනුන් හට අවවාද දෙනු ..දුදන වැසියා දෙන අවවාද කැලේ වසන වැද්දන් කියන බණ හා සමානයි )-ලෝකෝපකාරය යන්න මෙහිදී වැදගත් වෙයි.

“වැටත්නියරත් ගොයම්කා නම්කාට කියනුද ඒ අමාරුවයන්න” මුමුණමින් සිටිම සිංහල මව් බසට වර්තමානයේ සිදුවී ඇත. උසස් අධ්‍යාපන ආයතන මව් බස බැහැර කරමින් මව් භාෂා විරෝධීන් වී සිටියදී මව් බස සැමරීමට සිංහලයන්ට සිදුවී ඇත.

දේශමාමක සළු පොරවාගත් බටහිර චින්තනය හේතුවෙන් ජීවිකාව සරිකරගන්නාගහණයෙන් අහිංසක මුව පැටවකු මුදවා ගැනීම බිම් බෝම්බ සෙවීමට වඩා දුෂ්කරය. ඒ සමගම සිහිකල යුත්තේදියෙන් කිරි වෙන් කිරීමට හංසයින්ට හැකි බවය.විධිමත් ලෙස පුරෝකථනය නොකර සහ පෙරමග ඇති බාධා හදුනා නො ගනිමින් “මව් භාෂා ප්‍රවර්ධන සංවිධානය” ගමනක යන්නේ නම් තවත් එක් අසාර්ථකසංවිධානයක් බවට මව් භාෂා ප්‍රවර්ධන සංවිධානයත් පත් වනු ඇත.“මව් භාෂා ප්‍රවර්ධන සංවිධානයේ ” භාවිතාව සහ උපායශිලීත්වය දෙස බැලීමේදී දියෙන් කිරි වෙන් කිරීමට එයට හැකි බව පෙනී යයි. සමාජය විසින් දඑය මනසින් ග්‍රහණය කර ගැනීම වටී.

 නීතීඥ උණවටුන කේ. අරුණ ලක්සිරි

B.Sc(Col),PGDC(Col)

arunaunawatuna@gmail.com

2017.02.17

 

Copyright © 2017 LNW TODAYThemetf

To Top