Featured

ඩිල්ශාන් මතුකරන නායකත්ව ප්‍රශ්නය

ඩිල්ශාන් ක්‍රිකට් පිටියෙන් සමුගත්තා. සමුගෙන මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එකෙදි කියපු සියල්ල ගැන මා දන්නේ නැහැ. මා පදනම් වෙන්නේ ලැබෙන තොරතුරු මත පමණයි. ඔහු කියා තිබුණා මැතිවුස්ගේ කොන්දෙ අමාරුවක් ගැන, මහේල හා සංගක්කාර ගැන. මේ අය ගැන මගේ එතරම් ප්‍රසාදයක් කොහොමටත් නැහැ. ඔවුන් දක්‍ෂ ක්‍රීඩකයන් වෙන්න පුළුවන්. ඒහෙත් ඔවුන්ට අර්ජුනගේ නායකත්ව ගුණ නැහැ. අර්ජුන පසුව මොනවා කළත් රට වෙනුවෙන් ක්‍රීඩා කළා. මේ අය කටින් මොනවා කිවුවත් ක්‍රීඩා කරන්නේ රට වෙනුවෙන් නොවෙයි තමන් වෙනුවෙන්. ඔවුන් තමන් වෙනුවෙන් වාර්තා වෙනුවෙන් මුදල් වෙනුවෙන් ක්‍රීඩා කරන කොට රටත් දිනන්න පුළුවන්. දේශපාලනඥයන් ජනතාව වෙනුවෙන් සේවය කරනවා කිවුවත් සේවය කරන්නෙ තමන්ට හා පවුලට. අර්ජුන දේශපාලනයට නොගොස් ක්‍රීඩාවේ ම සිටියා නම් රටට වැඩක් වෙන්න තිබුණා.

ඩිල්ශාන්ගේ මාධ්‍ය සාකච්ඡාවේ වාර්තාවන තොරතුරු සත්‍ය වුවත් නැතත් මෙතැන ඇත්තේ පෞද්ගලිකත්වය හා සාමූහිකත්වය අතර ප්‍රශ්නයක්. සාමූහිකත්වයට කරුණු දෙකක් අනිවාර්ය වෙනවා. එකක් යම් පොදු අරමුණක් හා ජීවන සම්ප්‍රදායක්. අනෙක නායකත්වයක්. අපට සමූහයක්, කණ්ඩායමක් ජාතියක් හැටියට දිනන්න පුළුවන් ජාතිය සමග බැඳුණු ශක්තිමත් නායකයකු සිටිනවා නම් පමණයි. ගැමුණු, විජයබාහු රජවරු අපේ ප්‍රධාන ම නායකයන්. ඔවුන්ගේ කාලවලදිත් ඔවුන්ට විරුද්ධ අයත් හිටියා. සද්ධාතිස්සත් කාලෙකදි ගැමුණුට විරුද්ධ වුනා. ඇතැම් හාමුදුරුවරුනුත් ගැමුණුට විරුද්ධ ව සද්ධාතිස්සට පක්‍ෂ වුනා. ඒත් ගැමුණු කුමරුගේ ප්‍රබලත්වය හමුවේ ඒ සියල්ල මැකී ගියා. අපට ජයගන්න පුළුවන් වුනෙ අපට ප්‍රබල නායකයන් සිටි අවස්ථාවල හා නායකයා පොදු අරමුණ සමග බද්ධ වුනු විට. සීතාවක රාජසිංහ යුද්ධයෙහි අති දක්‍ෂයෙක්. ඒත් ඔහු රටේ සංස්කෘතියත් සමග එකට හිටියෙ නැහැ. එහෙම හිටිය නම් අපට පෘතුගීසීන්ට ගහලා එලවන්න තිබුණා. එහෙම වුනෙ නැහැ. මට සිල්වා කෙනකු වෙන්න සිදුවුනා. විමලධර්මසූරිය රටේ සංස්කෘතියත් එක්ක එකතුවෙලා පෘතුගීසීන් කඳුකරයෙන් පන්නා දැම්මා.

සිංහල බෞද්ධයන්ට යම් පමණකට තමන් ප්‍රධාන වෙනවා. මටත් තාමත් ඒ ගතිය ටිකක් තියෙනවා. ඒක අපේ සංස්කෘතික ලක්‍ෂණයක්. බොහොම කාලෙකට ඉස්සෙල්ල සිංහල කතෝලික මිතුරකු මගෙන් ඇහුව පන්සල්වල මේ තරම් නාමපුවරු තියෙන්න මොක ද කියලා. අහවලා විසින් පූජාකරන ලද මල්අසුන අහවලා විසින් පූජාකරන ලද පිඟාන කෝප්පය ආදිය ඕනෑම පන්සලක දකින්න පුළුවන්. මල්වට්ටියට අතගහලා සම්මාදම කියන සංකල්පය අනුව ජීවත්වෙන්න හදන අතරෙම අහවලා විසින් ආලෝක පූජාව සඳහා රුපියල් දහයක් දුන්නා කියලා ශබ්දවාහිනියෙන් කියව ගන්නත් අප කැමතියි. මේ නම් ප්‍රසිද්ධිය කවදා කාගෙන් අපට ලැබුණ ද කියන එක හරියට කියන්න බැහැ. අද ඕනෑම බෝක්කුවක් විවෘත කරන විටත් අහවලා විසින් අහවලාගේ ආරාධනයෙන් අහවලා බලා සිටිද්දී ඒ වැඩේ කෙරුණ කියලා ලියන්න බෝක්කුවට වැඩිය වියදමක් කරලා ඵලකයක් හදන්න ඕන. වැඩේ කෙරුවෙ වෙනත් අයෙකු වුනත් කමක් නැහැ්.

කාලිංග දේශයෙන් මෙහෙ ඇවිත් රජ වෙච්ච නිස්සංකමල්ල තමන්ගෙ නම හැමතැනම වගේ ලියව ගත්ත. මේක අපට අශෝක රජුගෙන් ලැබුණද දන්නෙ නැහැ. ඔහු ගිය හැම තැනක ම ටැම් ලිපි ආදියෙහි තම නම කෙටෙව්වා. අපේ සෙල්ලිපිවලත් නම් සඳහන් වෙනවා. රජවරුන්ගෙ විතරක් නොවෙයි, ඇමතිවරුන්ගේ ඔවුන්ගෙ භාර්යාවන්ගෙ නමුත් සඳහන් වෙනවා. අපට ඉතිහාසය ගැන හැඟීමක් තියෙනවා. ඉතිහාසයට නම එකතු කරන්න අප හුඟක් ඉස්සර ඉඳන් කටයුතු කරල තියෙනවා.අප සාමූහිකත්වය වගේ ම යම් පෞද්ගලිකත්වයක් ද සලකපු ජාතියක්. ඒ පෞද්ගලිකත්වය පහළොස්වැනි සියවසෙන් පස්සෙ ඇති වුනු බටහිරයන්ගෙ පෞද්ගලිකත්වයට වඩා වෙනස්. අපේ පෞද්ගලිකත්වය තිබුණෙ සාමූහිකත්වය තුළ.

අර්ජුන රට වෙනුවෙන් ක්‍රීඩා කළා. ඔහු මුරලි වෙනුවෙන් ක්‍රිකට් ආධිපත්‍යයට විරුද්ධව පෙනී හිටියෙ තමන්ට පෞද්ගලිකව ප්‍රශ්නයක් වෙයි ද කියන එක හිතන්නෙ නැතිව. විනිසුරුවගෙ (අම්පයර්) වචනය නීතිය කියන ක්‍රිකට් සම්ප්‍රදාය ඔහු රට වෙනුවෙන් අභියෝගයට ලක්කළා. ඔහු අද වැටිලා තියෙන තත්වය ගැන මා කණගාටුවෙනවා. ඒත් ඔහුගෙ එකල නායකත්වය අගය කරනවා. මහේල, සංගක්කාර ආදීන් ඔහුට ගව් ගණනක් පහළයි. අපට දේශපාලනයෙ ඉන්න දේශපාලන ක්‍රිකට්වලට අභියෝග කරන්න පුළුවන් එකම නායකයා මහින්ද. තවත් අය දේශපාලනයෙ නැතිව නොවෙයි. ඒත් ඔවුන් තවම නායකයන් නොවෙයි. මහින්ද 2005 ජනාධිපති වෙනකොට ඔහුගෙ ජාතිකත්වය වර්ධනය වෙලා තිබුනෙ නැහැ. ඒත් අප ඔහු වෙනුවෙන් වැඩ කළා. ජනාධිපති වීමෙන් පසු ඔහුගෙ ජාතිකත්වය වර්ධනය වුනා. 2009 දි ඔහු බටහිර නොවන ලෝකයේ ම ගෞරවයට පාත්‍ර වුනා බටහිරයන්ට හිස නොනමා දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන්. 2010න් පස්සෙ ඔහුගෙ යම් පිරිහීමක් දකින්න ලැබුණා. ඒක බටහිරයන්ට උදවුවක් වුනා ඔහු පරාජය කරන්න. 2015 පරාජයෙන් පස්සෙ ඔහු වටා ජාතිකත්වයක් ඇති ජනතාව රොක් වුනා.

අද ජාතික ව්‍යාපාරය සන්ධිස්ථානයක. අප යටත්වෙනවා ද නිිදහස ලබනවා ද කියන එක අප තීරණය කරන්න ඕන. ජාතික ව්‍යාපාරය තුළත් භේද තියෙනවා. ඒ භේද සමනය කරන්න පුළුවන් එකම නායකයා මහින්ද. දිනේෂ් මහින්දට විශාල ශක්තියක්. බැසිල්, විමල්, ගෝඨාභය, ප්‍රසන්න විතරක් නොවෙයි ලොකුගේ ජොන්ස්ටන් ඩලස් ආදීන් ද පක්‍ෂ භේදයකින් තොරව ජාතිකත්වයකින් එකතු වෙනවා නම් (ඊනියා සංධානයක් නොවෙයි) අපට බටහිර හා ඉන්දීය සැලසුම් පරාජය කරන එක මහ වැඩක් නොවෙයි. ඒ අය විතරක් නොවෙයි වාසු කරුණා ආදීන් ද ජාතිකත්වයක් යටතේ එකතු කරන්න පුළුවන් මහින්දට විතරයි. හින්ිු සම්මේලනය හා වෙල්ලාල නොවන දෙමළ ජනයාත් එකතුකර ගන්න ඕන. ඒත් මහින්ද තව තවත් ජාතිකත්වයට නැඹුරු වෙන්න ඕන.

ජනතාව මොන අඩු පාඩු මැද වුවත් ජාතිකත්වයක ඉන්නවා. තවම මහින්ද හා ජනතාව අතර ජාතිකත්ව බැම්ම හරියට ම නැහැ. ඇතැම් නායක හාමුදුරුවරු මහින්දට වඩා රනිල්ට කැමති බව අප දන්නවා. ඒක ඒ තරම් ප්‍රශ්නයක් නොවෙයි. ඇතැම් හාමුදුරුවරු එකල සද්ධාතිස්ස නමින් තිස්ස නම් කරලා ඔහුට සහාය දුන්නා. සමහරු ගැමුණුව දුටුගැමුණු කෙනකු කළා. දුටු කියන එකට විවිධ තේරුම් දෙන්න සමහරු සූදානම් වුනත් දුටු කියලා කිවුවෙ නැති දුෂ්ට කමකට. ඒ නම දැම්මෙ නම් දුෂ්ටයන්. ගැමුණු රජුට පුළුවන් වුනා හෙළයන් මෙන් ම සිංහයන් ද එකතු කරන්න. ඔහු අපේ ඉතිහාසයේ වීරයා වෙන්නෙ සිංහල බුද්ධාගමක් ඇති කරපු හින්දා. විමලධර්මසූරිය රජු පෘතුගීසීන් ළඟ ඉඳලත් ජනතාවගේ ජාතිකත්වයට ආවා. ඔහුගේ දක්‍ෂ නායකත්වය රණ ශූරත්වය හා ජනතා සහාය හේතුවෙන් ඔහුට පෘතුගීසීන්ට එළව එළවා පහර දෙන්න පුළුවන් වුනා. රාජසිංහ කොතරම් දක්‍ෂයකු වුනත් ජාතිකත්වය තිබුණේ නැහැ.

අද අපට බණ්ඩාරනායක මහතා කරන්න හදපු දේ ඉෂ්ට කරගන්න ඕන. ඒ සිංහලයන් එකතු කිරීම. ඊට පස්සෙ සිංහල ජාතියට දෙමළ මුස්ලිම් ආදීන් එකතු කරගැනීම. සිංහලයන්ගෙන් 75% ක පමණ බහුතරයක් එකතු කරගන්න පුළුවන් නම් දෙවැන්න ඉතා පහසුයි ජාතිකත්වය හිතටයි ඇඟටයි ගත්තොත් මහින්දට ඒක කරන්න පුළුවන්.

නලින් ද සිල්වා

Copyright © 2017 LNW TODAYThemetf

To Top